මහජන ආරක්ෂක ආඥා පනතෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට නිකුත් කළ ආඥාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා පසුගිය අගොස්තු 22 වැනිදා පාර්ලිමේන්තුවට යොමු කර තිබූ එම නිවේදනය කථානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (03දා) ඉදිරිපත් කෙරිණි.
40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තයෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගැනීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් පළමු වැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් එහි දෙවැනි උපලේඛනයේ දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යෑමට කැඳවන බවට මෙම ආඥාව නිකුත් කර ඇත.