මහනුවර,හන්තාන ප්‍රදේශයේ අඩි 3000 වැඩි සියලුම පුද්ගලික ඉඩම් රජයට පවරාගෙන දැඩි සංරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස රජයට යෝජනා කිරීමට හන්තාන පාරිසරික ආරක්ෂක කමිටුව විසින් තීරණය කර ඇත.
මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කමිටුව විසින් මෙම තීරණයට එළඹෙන ලදී.
මේ වන විටත් හන්තාන ආශ්රිත කලාපයේ අඩි 3000 ට වඩා වැඩි ප්‍රදේශවල කිසිදු ඉදි කිරීමක් සිදු කිරීමට අවසර නොමැති අතර, එම ප්‍රදේශය දැඩි සංරක්ෂිත කලාපයක් වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. අදාළ ඉඩම් සම්බන්ධයෙන් දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් අංශය මගින් පසුගිය දිනවල විශේෂ නිරීක්ෂණයක් කොට එම වාර්තාව ද ඊයේ හන්තාන කළමහනාකරණ කමිටුවට සභාගත කරන ලදී. අඩි 3000ට වැඩි ප්‍රදේශය තුළ මේ වන විට හෙක්ටයාර් 280 කට ආසන්න පුද්ගලික භූමි ප්‍රමාණයක් පවතින බව එම නිරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබේ. ඒ අනුව අදාළ පුද්ගලික ඉඩම් රජයට පවරා ගැනීමේදී ඒ සදහා සුදුසු වන්දි මුදලක් ගෙවීම යෝග්‍ය බවද කමිටුවේ අදහස වූහ.
එමෙන්ම හන්තාන ප්‍රදේශයේ නිතරම සිදුවන ගිනි ගැනීම් වලින් සිදුවන හානිය අවම කර ගැනීම සදහා එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන්ට අදාළ ඉඩම්වල බහු වාර්ෂික බෝග වගා කිරීමේ වැඩසටහනක් හදුන්වා දීමට ද මධ්‍යම පරිසර අධිකාරිය මගින් යෝජනා කරන ලදී. ඒ අනුව ඉදිරියේදී අඩි 3000 ට අඩු ප්‍රදේශවල පදිංචි වී සිටින පුද්ගලයන් ඒ සදහා යොමු කරවීමට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් කමිටුව තීරණය කරන ලදී.
අංක 1641/28 සහ 2010.02.17 දරණ ගැසට් නිවේදනය අනුව පිහිටුවන ලද හන්තාන කළමනාකරණ කමිටුව හන්තාන කන්ද තුළ සිදු කෙරෙන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කොට අදාළ තීන්දු තීරණ ගැනීමට පත් කර ඇති විශේෂ කමිටුවකි. මහනුවර දිසාපතිවරයා නිල බලයෙන් මෙහි සභාපතිවරයා වේ.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්