අද (21දා) සිදු වූ පිපිරීම් සම්බන්ධව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කරයි.
“කිතුනු බැතිමතුන්ගේ අති පූජනීය දිනයක් වන පාස්කු ඉරිදා දින සිදු වූ අවාසනාවන්ත ප්රහාරයන් මාලාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
ම්ලේච්ඡ ත්රස්තවාදය නිමා කොට රටේ ආරක්ෂාව තහවුරු කර තිබියදී ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින බුද්ධි අංශ නිලධාරීන්, ත්රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ අඩපණ කිරීමේ අනිටු ප්රතිවිපාක විඳින්නට සිදුව ඇත්තේ අහිංසක ජනතාවටය. මෙවන් තත්ත්වයකට රට යළි ඇද දැමීම පිළිබඳ වත්මන් රජයට දැඩි ලෙස විරෝධය පළ කරන්නෙමු.
රටේ ඇති වෙමින් පවතින අනාරක්ෂිත තත්ත්වයෙන් රට මුදාගැනීමේ වගකීම රජය වහාම ඉටු කළ යුතු බවද අවධාරණය කරමින් ශෝකයට පත් කිතුනු පවුල්වලටත්, සමස්ත කිතුනු ජනතාවටත්, කම්පනයට පත්ව සිටින සියලුම ශ්රී ලාංකික ජනතාවටත් ශෝකය පළ කිරීමට මෙය අවස්ථාවක් කරගනිමින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග ශෝකය බෙදා ගන්නෙමු.
මේ කනගාටුදායක අවස්ථාවේ ඉතාම සාමකාමීව කටයුතු කරන ලෙසත්, කුමන්ත්රණකාරීන්ගේ ක්රියාවලට හසු නොවන ලෙසත් සමස්ත ජනතාවගෙන් ඉල්ලීමට මෙය අවස්ථාවක් කරගනිමු. *