සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නොතිබූ තනතුරක් ඇති කොට එයට තම පෞද්ගලික ලේකම්වරයා බඳවාගැනීම හා ඔහුට වාහන දීමනා ඇතුළු වෙනත් දීමනා ගෙවීමට අධ්යක්ෂ මණ්ඩලය පොළඹවන ලදැයි හිටපු සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 19 වැනිදා සිට විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (11දා) තීරණය කළේය.
හිටපු ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්න මහතාට අමතරව ඔහුගේ පෞද්ගලික ලේකම් බාලමානගේ දයාවංශ යන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නඩුව ලබන ඔක්තෝබර් 19 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළ මහේස්ත්‍රාත්වරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළේය.