පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් මහතා නිදහස් කිරීමට නියම කරන්නැයි ඉල්ලා ඔහුගේ පියා සහ සහෝදරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කරන ලදී.
කිසිඳු පදනමක් නොමැතිව අත්අඩංගුවට ගෙන සාධාරණ හේතුවක් නොමැතිව රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් මහතා නිදහස් කිරීමට නියම කරන්නැයි ඉල්ලමින් මෙම ‘හබයාස් කෝපුස්’ පෙත්සම් දෙක ඉදිරිපත් කොට ඇත.
රඳවාගෙන ප්‍රශ්න කරන නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් මහතාගේ පියා සහ සහෝදරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම ‘හබයාස් කෝපුස්’ පෙත්සම් දෙකේ වගඋත්තරකරුවන් වශයෙන් වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලීසියේ අධ්යක්ෂවරයා සහ නීතිපතිවරයා නම් කොට ඇත.
පාස්කු ඉරුදින යෙදුණු 2019 වසරේදී අපේ‍්‍රල් 21 වැනිදා කොච්චිකඬේ පල්ලිය ඇතුළු කතෝලික දේවස්ථාන වලට හා ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කෙරුණු බවත් එම සිද්ධීන් වලට සම්බන්ධ බව කියමින් නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් මහතා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ මෙම සිද්ධියට අදාළව කිසිඳු පදනමක් නොමැතිව අත්අඩංගුවට ගනු ලැබු ඔහු සාධාරණ හේතුවක් නොමැතිව මෙතෙක් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් සඳහන් කොට ඇත.
රඳවාගෙන සිටින හිජාස් හිස්බුල්ලාහ් මහතාට නීතිඥ සහය ලබාගැනීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ ඔහු රහස් පොලිස් භාරයෙන් මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති.