1990 සුවසැරිය ගිලන්රථ සේව පිළිබඳ මුල් කාලයේ සැකයෙන් බැලුවද එම වැඩිපිළිවෙල සාර්ථක බවට ආණ්ඩුව පිළිගන්නා බව ඖෂද නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ හත්වන දිනය සඳහා අද (30දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර වර්ථමානයේ රට තුල විශාල ලෙස ඖෂද හිගයක් තිබෙන බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහන් කරන බවත් අත්‍යාවශ්‍ය ඖෂද 663ක් අතරින් ඖෂද 07ක සහ අත්‍යාවශ්‍ය නොවන ඖෂද 458 අතරින් ඖෂද 13ක් ලෙස ඖෂද 20ක පමණක් හිගයක් තිබෙන බවත් සඳහන් කළ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා,
අපි මේ වන විට ශ්‍රී ලංකාවට එන්නත් ගෙනත් තිබෙනවා සමස්ථයක් ලෙස ගත්තොත් තුන්කෝටි පනස් හත් ලක්ෂ විසි එක් දහස් හත්සීය අසූවක්. ඒකෙන් මිලියන 26ක් සයිනෝෆාම් එන්නත්. මොඩර්නා එන්නත් 15 ලක්ෂයක්. කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 12ක්, ඇස්ට්‍රාසෙනිකා එන්නත් 1,455,000ක්, ස්පුට්නික් එන්නත් 330,000ක් සහ ෆයිසර් එන්නත් 5,171,000ක් මේ වන විට ගෙනත් තිබෙනවා. ඒ සඳහා සමස්ථ වියදම ලෙස රුපියල් බිලියන 45.5ක් දරලා තිබෙනවා. ඉන් ෆයිසර් එන්නත සඳහා වැය වන මුදල මුලුමනින්ම ලෝක බැංකුව මගින් ආවරණය කිරීම සඳහා එකඟතාව පළ කරලා තිබෙනවා. ඒ වගේම සයිනෝෆාම් එන්නත් සඳහා ආසියානු සංවර්ධන බැංකුව උපකාර කරනවා.
ඖෂද හිගයක් තියෙනවා කියලා මන්ත්‍රීවරු කිහිපදෙනෙක් සඳහන් කළා.ඒ සංඛ්‍යාලේකන මා ගාව තිබෙනවා. ජීවිතාරක්ෂක ඖෂද 14ක් ලංකාවේ අපි නම් කරලා තිබෙනවා. ඒ 14 කිසිදු අඩුවකින් තොරව තිබෙනවා. අත්‍යාවශ්‍ය ඖෂද 663ක් තිබෙනවා. ඒ 663න් 15ක අඩුපාඩුවක් තිබෙනවා. ඒත් ඉන් 08ක් සඳහා වෙනත් මාත්‍රා යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. අත්‍යාවශ්‍ය නොවන ඖෂද 458ක් තිබෙනවා. ඉන් 17ක හිඟයක් තිබෙනවා. එයින් 4ක් සඳහා ආදේශක යොදා ගන්න පුලුවන්. ඒ අනුව අත්‍යාවශ්‍ය ඖෂද 07ක් සහ අත්‍යාවශ්‍ය නොවන ඖෂද 13ක් ලෙස සමස්ථ වශයෙන් ලැයිස්තුවේ 1135න් 20ක තමයි මේ වෙලාවේ අඩුපාඩුවක් තිබෙන්නේ. ඊට හේතුව වෙලා තිබෙන්නේ මේ කෝවිඩ් වසංගතය නිසා නිෂ්පාදකයන්ගේ ඖෂද ලබා දීමේ ප්‍රමාදයක් තිබෙනවා. ඒ වගේම තමයි බැංකු කටයුතු වලදී සහ අන්තර්ජාතික ප්‍රවාහන කටයුතු වලදී ප්‍රමාද වීම නිසා සති කිහිපයක් පරක්කු වෙලා තිබෙනවා.
ඒ වගේම කියන්න ඔ්නී ස්වස්ථ නමින් හඳුන්වන මෘදුකාංගයක් මේ රටේ සියලුම රෝහල් සඳහා ලබන අවුරුද්දේ ඔක්තෝම්බර් මාසය වන විට හදුන්වා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නිරන්තරයෙන් සුවසැරිය සඳහා දක්වපු දායකත්වය පිළිබඳ අගය කරනවා. අපිත් සැකයෙන් බලපු කාලයක් තිබුනා. අපි පිළිගන්නාව. නමුත් මේ කාරණය සාර්ථකයි කියලා අපි පිළිගන්නවා. හොඳ දේ හොඳයි කියන්න අපි කිසිසේත් පැකිලෙන්නේ නෑ. යනුවෙන්ද සඳහන් කළේය.