අත්ලාන්තික් සාගරයේ ඇදී එන හයිෂෙන් සුළි කුණාටුව නිසා ජපානයේ සහ කොරියානු අර්ධද්වීපයේ දහස් ගණන් දෙනා ඉවත් කරමින් සිටින බව වාර්තා වෙයි.
3 වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස පැයට කිලෝමීටර් 195 සිට පැයට කිලෝමීටර් 240ක වේගයක සුළං හමා යමින් සුළි කුණාටුව කඩා වදිමින් තිබේ.
සතියක කාලයක් තුළ කලාපයට පහරදුන් දෙවැනි ප්රබල සුළි කුණාටුව මෙය වන අතර, මීට පෙර මයිසාක් සුළි කුණාටුව අත්ලාන්තික් සාගරයේ ඇති විය. ගවයන් ප්රවාහනය කරමින් තිබූ නෞකාවක් අනතුරට ලක්වූයේද එම සුළි කුණාටුව හේතුවෙනි.
ඒ අනුව හයිෂෙන් ඊයේ ජපානයේ නිරිතදිග වෙරළට ඔබ්බෙන් වූ රුක්යු දූපත්වලට පහර දෙමින් කලාපයට තද සුළං සහ තද වැසි ගෙනැවිත් නිවාස දහස් ගණනකට විදුලිය අණ හිටීමකට ලක්කර ඇත. කුණාටුව උතුරු දෙසට ගමන් කර ඉදිරි පැය 36 තුළ කොරියානු අර්ධද්වීපයට බලපෑම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
හයිෂෙන් තරමක් දුර්වල වී ඇති නමුත් අධික වර්ෂාව, තද සුළඟ, අධික රළ ගැන උපරිම අවධානයෙන් සිටින ලෙස අනතුරු අඟවා ඇති අතර, මෙම කුණාටුව ජපානයේ සහ කොරියානු අර්ධද්වීපයේ මිලිමීටර් 100 ත් 150 ත් අතර වර්ෂාපතනයක් ගෙන එනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
කගෝෂිමා ප්රාන්තයේ පුද්ගලයන් 246,251ක් ඉවත් කර ඇති බව ජපාන මහජන ගුවන් විදුලි නාලිකා පවසයි. සුළි කුණාටුවට පෙර තවත් 36,392 දෙනෙකු නාගසාකි ප්රාන්තයේ පිහිටි සිය නිවෙස්වලින් ඉවත් කර තිබේ. කගෝෂිමා හි පවුල් 200,000කට වැඩි ප්රමාණයක් සහ ඔකිනාවා හි නිවාස 3,930කට විදුලිය විසන්ධි වී ඇත.