සහරාන් හෂීම් ත්රස්තවාදියා නායකත්වය දැරූ ජාතික තවුහිද් ජමාද් සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බව වසර තුනක කාලයක් තුළ අවස්ථා 97කදී ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම්දුන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජය ජයවර්ධන මහතා පවසයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් සමස්ත කැබිනට් මණ්ඩලයම වගකිව යුතු යැයිද ඔහු පැවසීය.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වසර තුනක කාලයක් තුළ අවස්ථා 97කදී ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට දැනුම් දුන් බව ජාතික රහස් ඔත්තු සේවයේ පොලිස් අධිකාරිවරයාගේ දිවුරුම් පෙත්සම් වලින්ද සනාථ වන්නේ යැයිද දැනුම් දුන් ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධන මහතා රහස් ඔත්තු සේවයේ පොලිස් අධිකාරී නිලන්ත ජයවර්ධන මහතා 2017 , 2018 ල 2019 යන කාල වලදී ඉදිරිපත් කළ ලියකියවිලි වලින් ඒ බව සනාථ වන්නේ යැයි පැවසීය.
පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම ආරම්භ කළ අවස්ථාවේදී එසේ පැවසීය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් බුවනෙක අලුවිහාරේ, සිසිර ද අබෘ, ප්‍රසන්න ජයවර්ධන එල් .එ. බී දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් යුතු සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් 12 සළකා බලනු ලබයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමිවූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි නන්දන සිරිමාන්න, සංචාරක කර්මාන්තයේ නියැලි ව්‍යාපාරික ජනත් විදානගේ , ශ්‍රී ලංකා නීතීඥ සංගමය, හෙන්රි මේරියන් අශෝක් ස්ටීවන් , සරත් ඉද්දමල්ගොඩ සහ හේල් එවන්ස්ටන් ප්‍රනාන්දු ජයවර්ධන යන පියතුමන්ලා , නාගානන්ද කොඩිතුවක්කු , ජූඞ් පෙරේරා , නිමල් කුමාරසිරි ඇතුළු පුරවැසියන් පිරිසක්ද , අගුළුගල්ලේ ජිනානන්ද හිමි සහ කොළඹ ෂ්‍රැංගිලා හෝටලයේ සිදුවූ පිපිරීම් වලින් තුවාල ලැබූ නීතිඥවරයකු වන මුදිත ඒකනායක මහතා ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ නියෝජ්‍ය පොලිස්පති ශ්‍රී ලාල් දිසානායක සහ නීතිපතිවරයා නම් කොට ඇත.
මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනී සිටින අතර අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා මහතා පෙනී සිටියි.
මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා පෙනී සිටීයි.