සංවර්ධන නිලධාරීන්ට හා සහකාර සංවර්ධන නිලධාරීන්ට ඇතිවී තිබෙන ප්‍රධාන ගැටලු 05ක් මුල්කරගනිමින් හෙට (12දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය සඳහන් කරයි.
උපාධිධාරීන් ලක්ෂයකට අධික පිරිසක් මෙම සේවා දෙක තුළ සේවය කරන බවත්, එහෙත් මෙතෙක් සුදුසු වැටුප් තලයක තබා නොමැති බවද එම සංගමයේ සභාපති චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.
මෙම ගැටලුවට අමතරව සංවර්ධන නිලධාරී සේවාවට මෙතෙක් රාජකාරි ලැයිස්තුවක් නොමැති බවත්, පවතින වැටුප් විෂමතා ඉවත් නොකිරීම නිසාද සංවර්ධන නිලධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බවත් කී ඒ මහතා විශ්‍රාම වැටුප් අහෝසි කිරීම නිසා පොදුවේ රාජ්‍ය සේවයට 2016 වසරින් පසු එක්වන අයට දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බවද කියා සිටියේය.
මෙම ගැටලු මුල්කරගනිමින් හෙට (12දා) එක්දින වැඩවර්ජනයක් සිදුකරන බවත්, මීට සමගාමීව කොළඹදී උද්ඝෝෂණ පාගමනක් හා විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
විරෝධතා පාගමන බොරැල්ල ඩී.එස්. සේනානායක වටරවුම අසලින් ආරම්භ කර රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දක්වා ගමන්කර අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාව පවත්වන බවද හෙතෙම කියා සිටියේය.