කෝවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගත් වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කළ සෙවනගල නෙළුම්සිරිගම පදිංචි සෙබලාගේ බිරිඳටත්, බිරිඳගේ සහෝදරියගේ අවුරුදු දෙකහමාරක් වයසැති දරුවාටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය පාලිත අධිකාරි මහතා පැවසීය.
නාවික හමුදා සෙබළා, බිරිඳ හා ඥාති දරුවා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී සෙබළා ආසාදිත තත්වයෙන් පෙළෙන බව ඉකුත් (24) වෙනිදා අනාවරණයවී ඇත.
බිරිඳ රෝහලේ සිටියදී දරුවා නිවසට යවා තිබිණි. බිරිඳගේත් දරුවාගේත් සෙම් සාම්පල් පී.සී.ආර්. පරීක්ෂණයට යවා ඇති අතර ඒ දෙදෙනාටද ඊයේ (26) කෝවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බව පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.
මේ වනවිට ආසාදිතයන් තිදෙනාම කොළඹ අයි.ඩී එච් රෝහලට යවා ඇත.
නාවික හමුදා සෙබළාගේ නිවාස හා ඒ අවට නිවාස වල පදිංචිකරුවන් නිවෙස්වලම සිට ස්වයං නිරෝධායනය කිරීමට පියවරගෙන ඇත.
බිරිඳ තණමල්විල නගරයේ පවත්වාගෙන යන රූපලාවණ්‍ය මධ්‍යස්ථානයද විෂබීජහරණය කොට වසාදමා ඇත. අප්‍රේල් (21) වෙනිදා එම ස්ථානයෙන් සේවාව ලබාගත් අය වේ නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට හෝ රෝහලට දැනුම් දෙන ලෙස වෛද්‍ය අධිකාරීවරයා ඉල්ලා සිටී.
මේ අතර සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නෙළුම්සිරිම, උඩමව්ආර, කිරිඉබ්බන්ආර, කුමාරගම යන ගම්මානවල වලත් මෙම නාවික හමුදා සෙබලා සංචාරය කර තිබෙන අතර එම ගම්මානවල පදිංචි පවුල් 1800ක් පමණ නිවෙස් වල සිටම නිරෝධායන කිරීමට පියවරගෙන ඇත.
තවද නාවික හමුදා සෙබලා සෙවනගල ප්‍රාදේශිය සංවර්ධන බැංකුවටද එම පවුලේ සාමාජිකයෙකු සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රුපියල් පන්දහසේ දීමනාව ලබා ගැනීමටත් ගොස් ඇති අතර එම ආයතනවල සේවක සේවිකාවන්ද නිවෙස් වල සිටම නිරෝධායනය කිරීමට පියවර ගත් බව සෙවනගල මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඒ.වී නිරෝෂන් මහතා පැවසීය.