ඉන්දියාවේ කොල්කටා නුවර අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මෙරටට රැගෙන ඒම සඳහා අද (30දා) උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1187 දරණ එම ගුවන් යානය 4/30 දින උදෑසන 10.15 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ කොල්කටා නුවර බලා පිටත්ව ගියේය.
එම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට රැගෙන එන සිසුන් ප්‍රමාණය පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ මේ වනතුරු දැනුවත් කර නොමැති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
එමෙන්ම සාර්ක් රටවල අතරමං වී සිටින සිසුන් යළි මෙරටට රැගෙන ඒමේ පළමු අදියර ඊයේ දිනෙන් අවසන් වූ බව ප්‍රකාශ කළ ද , ඉන්දියාවේ කොල්කටා නුවර මෙම සිසුන් ද 4/30 දින ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසු , එම අදියර නිමාවට පත් වන බවත් , තවත් දින කීපයකින් තවත් රටවල අතරමං වී සිටින සිසුන් මෙරටට රැගෙන ඒමට මෙම වැඩසටහනේ දෙවන අදියර ආරම්භ කරන බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.
මෙම ගුවන් යානය මගීන් නොමැතිව ඉන්දියාවේ කොල්කටා නුවර බලා පිටත්ව ගිය අතර, එහි ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 07 ක් ගමන් ගෙන තිබුණි.
මෙම ගුවන් යානය 4/30 දින පස්වරු 1.00 ට ඉන්දියාවේ කොල්කටා ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය.මෙම ගුවන් යානය යළිත් සවස 5.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.