සයිටම් කුණුකන්ද තමන්ගේ රජය විසින් විසඳූ බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළද, සයිටම් ගැටලුව තවමත් අවසන් වී නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා සයිටම් ආයතනය හරහා ඇති වී තිබෙන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කර තීරණය කිරීමට අද (25දා) හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවා ඇතැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
පසුගිය කාලයේ සයිටම් ආයතනයේ ප්‍රමිතිය සහ වෙනත් අතුරු කාරණා සැලකිල්ලට ගෙන රජය විසින් තාක්ෂණික දැනුම සහිත පිරිස්වල සහයෝගයෙන් ඇගයීම් ක්‍රියාවලියක් සැලකිල්ලට ගෙන සයිටම් අහෝසි කිරීමේ රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කළ බවද ඔහු කියා සිටියේය.
වෛද්‍යවරයෙකු ප්‍රමිතියෙන් යුක්ත බව තහවුරු කිරීම හරහා අපේක්ෂා කරනුයේ රෝගී ජීවිත සුරක්ෂිත කිරීම බවත්, සයිටම් ආයතනය හරහා එම තත්ත්වය නැති වී යනවා නම් එය ඍජු ලෙසම රෝගී ජීවිතවලට බලපාන බවද ඒ මහතා සඳහන් කළේය.
මේ නිසා මේ පිළිබඳ සාකච්ඡා කිරීමට හා ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට අද (25දා) හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවූ බවද හෙතෙම පවසා සිටියේය.