සමාජ දුරස්ථභාවය රැකගනිමින් මෙවර අලුත් අවුරුද්ද සමරන ලෙසත්, පෙර වසරවලදී අවුරුදු චාරිත්‍ර ඉටු කළේ යම් සේ ද එයට වඩා වගකීම් සහගතව සමාජ දුරස්ථභාවය රකින ලෙසත් හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය අලුත් අවුරුදු පණිවිඩයේ සඳහන් කරයි.
ප්‍රේමදාස මහතා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙවර අලුත් අවුරුද්ද එලෙසින් ගත කිරීමෙන් ලබන වසරේ අලුත් අවුරුද්ද ඒකාන්තවම අසිරිමත් වන බවයි.
මේ අනපේක්ෂිත ව්‍යසනකාරී මොහොතේ අපි ඔබේ සකලවිධ සංවේදනාවන් ,අපහසුතාවන්, සියල්ල කෙරෙහි සංවේදී වන බවත්, මෙම කටුක සමය නිමා කිරිම උදෙසා දිවි දෙවැනිකොට ඔබ අප වෙනුවෙන් වෙහෙසෙන සෞඛ්‍ය ,ආරක්ෂක ,මාධ්‍ය, අත්‍යාවශ්‍ය සේවාවන් හි සියලු දෙනාට අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරන අතර සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
එමෙන්ම සමස්ත රටවැසි ආදරණීය ජනතාවට නිදුක් නිරෝගී වාසනාවන්ත අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන බවත්, සියලු දෙනා එක්ව සුවපත්,නිරෝගී දේශයක් සහ ලෝකයක් වෙනුවෙන් මේ අලුත් අවුරුද්දේ ප්‍රාර්ථනාවන් පිරිය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ඉතිහාසයේ මින් පෙර කිසිදිනෙක උදා නොවූ ආකාරයේ සිංහල දෙමළ අලුත් අවුරුද්දක මුවවිටට අපි පැමිණ සිටිමු.
එක් අතකින් මුලු මහත් ලෝකයම කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන තීරණාත්මක ජීවිත අරගලයක යෙදී සිටී. එය මෑත සියවසක කාලයකට මෙපිට මුලුමහත් ලෝකයක්ම එකවිට මුහුණ දෙන අතිශය සංවේදී සහ අවාසනාවන්ත තත්ත්වයකි.
