මොනරාගලින් ප්‍රධාන ගංඟා කිහිපයක් ගියත් එහි ප්රතිලාභ මොනරාගලට නෙමෙයි
මොනරාගල දිස්ත්‍රික්කය හරහා ලංකාවේ ප්‍රධාන ගංඟා කිහිපයක් ගලා බසිනවා.නමුත් ඒවායෙන් වැඩි ප්රතිලාභ හිමිවන්නේ මොනරාගලට නෙවෙයි අනෙකුත් ප්‍රදේශ වලට යැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මෙහෙයුම් හා නඩත්තු කළමනාකාර ඉංජිනේරු නලින් වික්‍රමාරච්චි මහතා (05) වෙනිදා පැවසීය.
"බිබිල හා මැදගම හරහා ගලා බසින ගලඔය හරස් කර ඉඳිකර ඇති සේනායක් සමුද්‍රය මඟින් නැගෙනහිර පළාතේ කෘෂිකර්ම සහ පානීය ජල අවශ්‍යතා සපුරනවා.එම මූලාශ්‍රයෙන් අමතර විශාල ජල සම්පාදන ව්‍යාපෘති සැලසුම් කිරීම සීමාසහිතයි.
වැල්ලවාය සහ තණමල්විල ප්‍රදේශ හරහා ගලා බසින කිරිඳි ඔයද මේ වන විට ලුණුගම්වෙහෙර ජලාශ ඇතුළු ව්‍යාපෘති සඳහා යොදා ගෙන තිබෙනවා.
බඩල්කුඹුර සහ බුත්තල ප්‍රදේශ හරහා ගලා බසින මැණික් ගඟ හරස් කර ඉඳිකර ඇති වෙහෙරගල ජලාශය මඟින් දකුණු සහ ගිණිකොන දිග ප්‍රදේශ වල කෘෂිකර්මාන්තයට ජලය සපයනවා.සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන් ගලා බසින හැඩඔය හරස් කර අම්පාර පොතුවිල් ප්‍රදේශයට ප්රතිලාභ සැලසෙන ජලාශ ව්‍යාපෘතියක් සැලසුම් කර තිබෙනවා.
මේ අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ පානීය හා කෘෂිකර්ම අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ලෙස ජලය රඳවා ගෙන ප්‍රයෝජනයට නොගත් ප්‍රධාන ජල මූලාශ්‍රයක් වන්නේ කුඹුක්කන් ඔයයි.එම ජලයෙන් සුළු ප්‍රමාණයක් හෝ රඳවා ගත හැකි ජලාශයක් ඉඳිකළහොත් වසර ගණනාවක් පවතින පානීය ජල අර්බුදයට ස්ථිර විසඳුමක් ලැබෙනවා.එපමණක් නොව ඔක්කම්පිටිය ප්‍රදේශයේ අක්කර දහස් ගණනක් වී වගා බිම් තිබුණත් ජල හිඟය නිසා යල කන්නයේ සැලකිය යුතු කොටසක් වගා කරන්නේ නැහැ.ඒවගේම සියඹලාණ්ඩුව ඇතිමලේ ආශ්රිත ප්‍රදේශ වල ජල ප්රශ්නය විසඳෙනවා.කුඹුක්කන් ඔය ජලාශය කියන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ පානීය ජල අවශ්‍යතාවය, කෘෂිකර්ම සංවර්ධනය, ආහාර සුරක්ෂිතතාව සහ කලාපීය සංවර්ධනය එකවර ශක්තිමත් කළ හැකි ජාතික ව්‍යාපෘතියක්.මෙම ව්‍යාපෘතිය ප්‍රමාද නොකර ක්‍රියාත්මක කළ යුතුයි.මොනරාගල අනාගත පරපුර වෙනුවෙන් ගත හැකි වට්නාම ආයෝජනය වන්නේ කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතියයි.
මොනරාගල නගරයට පානීය ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍ර දෙකක් තිබෙනවා.කුඹුක්කන් ඔය සහ මරගල කඳුවැටියෙන් ගලා බසින ජීලෝන් දිය දහරාවයි.නමුත් එය ඒවා මේ වන විට සැලකිය යුතු මට්ටමකට සිදී ගොස් තිබෙනවා.මරගල රක්ෂිත ප්‍රදේශය තුළ සිදුකරන අනවසර වනාන්තර විනාශය,නව ජනාවාස ව්‍යාප්තිය සහ අනෙකුත් මිනිස් ක්‍රියාකාරකම් අවම කළ යුතුයි.මේ වන විට මරගල කඳුවැටියේ ඉහළ දක්වාම නිවාස ඉඳිකර තිබෙනවා.එම ජනයාට ප්‍රදේශයේ ප්‍රමාණවත් ඉඩම් තිබෙන නිසා සුදුසු විකල්ප ඉඩම් ලබාදී ජල මූලාශ්‍ර සුරැකීමට කටයුතු කළ යුතුයි."
මොනරාගල සුමනසිරි ගුණතිලක



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
