“විරුද්ධ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා යැයි කියන හාදයා ගෙදරට බල්ලා ගෙන්න ශ්‍රී ලංකන් ගුවන් සේවය සූරිච්වලට ඇරියා.”
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, මහා නගර සංවර්ධන සැලැස්මට අනුව නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික යටිතල පහසුකම් වැඩිදියුණු කිරිමේ අරමුණින් ක්‍රියාත්මක සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන, පුර්ණ අධික්ෂණය සැලසුම් දායකත්වය යටතේ ඉදිකළ කළුතර දුම්රියපළ පාර වාණිජ සංකීර්ණය සහ ගබඩා විදීය පොදු වෙළෙඳපොළ ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
මෙයට අවුරුදු 9කට කලින් 2010 වර්ෂයේ අපට ණය ගෙවන්න තිබුණේ වසරකට රුපියල් බිලියන 800 යි. මේ වසරේ අග්‍රාමාත්‍යතුමා, මුදල් ඇමතිතුමා ඇතුළු රජයට ඒ වගේ තුන් ගුණයක බිලියන 2300ක් ණය ගෙවන්න සිදු වෙලා තිබෙනවා. එය අතිවිශාල ධනස්කන්ධයක්. කොටින්ම සංවර්ධනයට අපි මේ වසරේ වියදම් කරන්නේ බිලියන 800 යි. ඒ කියන්නේ මේ නගර නිර්මාණයට, ජලය, විදුලිය, බස්, පාසල්, සෞඛ්‍ය ඇතුළු මේ සියළුම සේවාවන්ට 2010 ඉඳන් මේ දක්වා ඒ ණය බර අපට තුන් ගුණයකින් වැඩිවෙලා තිබෙනවා.
අද සමහරු රට ඉදිරියට ඇවිත් රට හදන්න ඉල්ලනවා. එදා 2008 වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය, එමිරේට්ස් ආයතනය 1998 ඉඳන් දස අවුරුද්දකට අරගෙන ඒ අවුරුදු 10 ඇතුළේ මිලියන 14000ක ලාභයක් උපයලයි මහින්ද රජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට භාර දුන්නේ. මොකද්ද අද තත්වය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න හදන ශක්තිමත් කළමනාකරණයක් තියෙනවා කියන පාලකයෝ යටතේ බිලියන 250ක්.
මේ අපි හැම පුද්ගලයාම රුපියල් දොලොස් දහස් පන්සියයක් ගෙවා තිබෙනවා මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයෙයි, මිහින් ලංකා එකෙයි බර වෙනුවෙන්. මේවා තමයි මේ රටේ සංවර්ධනය කියලා කළේ. නමුත් මේ රජය එවැනි කිසිම සංවර්ධනයක් සිදු කර නැහැ. ඒ භයානක ණය බරත් ගෙවන ගමන්,ජනතාවට ආර්ථික ප්රතිලාභ ලැබෙන, ආර්ථික ශක්තිය ලැබෙන ක්‍රියාමාර්ග පමණයි අපි අරන් තිබෙන්නේ.
මට මතකයි මේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගෙදරට බල්ලා ගෙන්න ශ්‍රී ලංකන් ගුවන් සේවය සූරිච්වලට ඇරියා. එහෙම අය තමයි මේ කළමනාකරණයේ දක්ෂයෝ හැටියට අද ජනාධිපතිවරණයට ඉල්ලන්න යන්නේ. එහෙමයි එදා ශ්‍රී ලංකන් ගුවන් සේවය කළේ. අද ඒකේ පාපය ගෙවන්න වෙලා තිබෙන්නේ කිරිපිටිවලින්, පාන්පිටිවලින් වගේම අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලින් අපේ රටේ ජනතාවට.