සත්ව ආහාර නිෂ්පාදනය කිරීම පිණිස රතු කැකුළු සහල් තොගයක් ගබඩා කොට තබාගත් බව කියන විදේශ සමාගමක් පරීක්ෂාවට ලක් කළ පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් එහි තිබී රුපියල් ලක්ෂ 29 ක් වටිනා සහල් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා වෙත ලැබී ඇති තොරතුරක් මත එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් ජාඇල , ඒකල ප්‍රදේශයේ පිහිටි මෙම සමාගම පරීක්ෂාවට ලක්කොට කිලෝ ග්‍රෑම් 31,000 රතු කැකුළු සොයා ගැනීමට සමත්ව ඇත.
කිසිම සහල් වර්ගයක් සත්ව නිෂ්පාදන සඳහා යොදාගත නොහැකි බවට පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් 2020.07.23 දින විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කොට තිබියදී එය නොසලකා හරිමින් මෙම විදේශ සමාගම කටයුතු කොට ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.
අත්අඩංගුවට ගන්නා සහල් තොගය මුද්‍රා තැබීමට පියවර ගෙන ඇති අතර අදාල සමාගමට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතය.
මෙම සහල් තොගය අත්අඩංගුවට ගැනීම පිනිස පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහ ගම්පහ දිසාපති සුනිල් ජයලත් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරීන් වන හෂාන් කළුබෝවිල, එච්.රවිදු , හෝමපොල , දිලීප කරුණාරත්න , එච්.එම්.රෆ්ලි , අරුණ ශාන්ත සහ මාලිංග ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ක්‍රියාකොට ඇත.
