නව කොරෝනා වසංගතය හමුවේ ස්ත්‍රී - පුරුෂ සබඳතා පැවැත්වීමේදීද කොවිඩ්-19 සෞඛ්යාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීමේ වැදගත්කම කැනඩාවේ ප්‍රධාන වෛද්‍යවරිය විසින් එරට ජනතාවට උපදෙස් ලබාදී තිබේ.
විශේෂයෙන්ම එම සබඳතාවලදී මුඛ ආවරණයක් පැලඳීමේ වැදගත්කම අවධාරණය කර ඇති එරට ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය තෙරේසා ටෑම්, තමන් සමීපව ආශ්‍රය නොකරන හෝ නොදන්නා අයව සිප ගැනීමෙන් වළකින ලෙසටද කැනේඩියානුවන්ට උපදෙස් දෙයි.
"ලිංගික සෞඛ්‍යය අපගේ සමස්ත සෞඛ්‍යයේ වැදගත් අංගයක්. කෙසේ වෙතත් කොවිඩ්-19 කාලය තුළ ලිංගිකත්වය සංකීර්ණ විය හැකියි. ඒ නිසා ඔබ ඔබේ නිවසින් බැහැර පුද්ගලයන් සමග සම්බන්ධවීමේදී අවදානම වැඩිබව මතකයේ තබාගත යුතුයි." ටෑම් කියයි.
"කොවිඩ්-19 කාලය තුළ අවම අවදානම් සහිත ස්ත්‍රී - පුරුෂ සම්බන්ධතා වැදගත් වෙනවා." ටෑම් උපදෙස් දෙයි. "විශ්වාසදායක සම්බන්ධතාවක් පළමුව සහතික කරගත යුතුයි. ඒ වගේම හවුල්කරුවන් නාසය සහ මුඛය ආවරණය කරන මුඛ ආවරණයක් භාවිත කිරීම පිළිබඳවද සලකා බැලිය යුතුයි."
"වර්තමාන සාක්ෂිවලින් පෙනී යන්නේ ස්ත්‍රී - පුරුෂ සබඳතාවලදී පිටවන තරල හරහා නව කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව ඉතා අඩු බවයි. කෙසේ වෙතත්, ඊට සම්බන්ධ පුද්ගලයන්ට රෝග ලක්ෂණ නොමැති වුවත්, නව හවුල්කරුවන් සමග සමීප සම්බන්ධතා හෝ සිප ගැනීම් වැනි දේ මගින් කොවිඩ්-19 වෛරසයට ගොදුරුවීමේ හෝ වෛරසයට නිරාවරණය වීමේ අවදානම වැඩි කරනවා" කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය තෙරේසා ටෑම් වැඩිදුරටත් අවධාරණය කරයි.