තවලම සතිපොළේ වෙළඳාමේ නිරත පුද්ගලයන් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (14) තහවුරු වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංහාරච්චි මහතා පවසයි .
ඊයේ දින (13) තවලම සතිපොළේ වෙළඳුන් සහ භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයන් 88 දෙනෙකු පි සි ආර් පරීක්ෂණ වලට ලක් කළ බව ද ඒ මහතා පවසයි .
අද දින නිකුත් වූ පි සි ආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඉන් 23 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
මීට පෙර නෙලුව ප්‍රදේශයේ පුද්ගලයින් 08දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණි . ඒ අතර නෙළුව රෝහලේ හෙදි නිලධාරිනියක් ද වේ .
සතිපොළට පැමිණි පිටිගල ප්‍රදේශයේ වෙළෙන්දෙකු ගෙන් මෙම කොරෝනා පොකුර නිර්මාණය වි ඇති බවට අනාවරණය වී ඇති බව ද හෙතෙම පවසයි .
අද දින කොරෝනා වෛරසය ආසාදිතයින් අකුරැස්ස නෙළුව තවලම තිහගොඩ ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති .
මෙම තත්ත්වයත් සමඟ නෙළුව තවලම ඕපාත යන සතිපොළවල් වසා දැමීමට නිර්දේශ කොට ඇති බව ද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වරයා පවසයි .