කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මෙරට සෞඛ්‍ය විශේෂඥයින් සඳහන් කරන ආකාරයෙන් රට සති දෙකකට අගුලු දමන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් ඒ අනුව කෝවිඩ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව අඩු වන විට ක්‍රමක් ක්‍රමයෙන් රට විවෘත කිරීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2019 කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ්-19) තාවකාලික විධිවිදාන පනත් කෙටුම්පත සම්බන්දයෙන් අද (17දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ඒ අනුව රුපියල් සත පසෙකට දමා ජනතාවගේ ජීවිත රැකගැනීමට කටයුතු කළ යුතු බවත් ඒ අනුව විපක්ෂය සමග අත්වැල් බැදගෙන කටයුතු කරන ලෙස ආණ්ඩුවට සඳහන් කරන බවත් සඳහන් කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,
“ජාතික ව්‍යසනයක්, ජාතික ඛේදවාචකවක් හමුවේ අද අපි පාර්ලිමේන්තු සාකච්ඡාව පවත්වන අවස්ථාව. අපි හිතනවා මේ ජාතික ව්‍යසනය හමුවේ රට ගලවා ගන්නා වූ ආකාරය පිළිබදව අදහස් ගණනවක් ඉදිරිපත් කළා.
අද අපේ රටේ කෝවිඩ් වසංගතය තුළ ආසාදිතයින් වැඩි වෙලා, මරණ වැඩි වෙලා ලෝක දත්තත් සමග සංසන්දනය කරන විට අපේ රටේ සංඛ්‍යාලේඛණ ඉතාමත් නරක පැත්තකට හැරවිලා රෝහල් තදබදය වැඩි වෙලා වැනි තත්ත්වයක් තුල අපි විශ්වාස කරනවා රට මුහුණ දෙන මේ අභියෝගය තුළ, මේ මහා ඛේදවාචකය තුල රටක් හැටියට පාට පක්ෂ ආගම් බේදයකින් තොරව අපි එකට එකතුවෙලා මේ ප්‍රශ්න වලට විසදුම් අවශ්‍යයි.
ඒ විසදුම් නිර්මාණය කිරීමේදී අපි වැරදුන තැනුත් අවබෝධ කර ගන්න ඕනි. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා දිනකට ආසාදිතයින් 6000ක් වෙන්න පුලුවන් කියලා. මරණ 220 වෙන්න පුලුවන්ලු දිනකට. ඒත් දැඩි සීමාවන්ට ලක්වුනොත් යම්කිසි කාලපරිච්ඡේදයකට තාවකාලිකව ආරම්භයක් ලෙස සති 2ට අපි ලොක්ඩවුන් එකකට ගියොත් අපිට පුලුවන්කම ලැබෙනවා අර 6000 ආසාදිත සංඛ්‍යාව 1000ට අඩු කරන්න. ඒ වගේම මරණ ප්‍රමාණයත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන ආකාරයට 25 දක්වා අඩු කරගන්න.
බොහොම තද හිතකින් හෙල්ලෙන්නේ නැතිව නම්‍යශීලි නොවන ආකාරයට මේ ප්රශ්නය ගැන හිතන එක මානුෂීය ගතියක්ද. මේ රටේ විවිධ විශේෂඥ සංවිධානවන විශේෂඥ වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය සංගමය, හෙද නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ,සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය කියනවා සති දෙකකට තාවකාලිකව රට වහන්න කියලා. අද කවුරු කොහොම කිව්වත් රෝහල් පද්ධතිය දැඩි පීඩනයකට ලක්වෙලා. සම්ස්තයක් ලෙස ගත්තොත් කෝවිඩ් ප්රශ්නය බරපතල ප්‍රශ්නයක්.
අපි යෝජනා කරනවා සති දෙකකට විතරක් රට ලොක්ඩවුන් කරලා බලමු. ඒ අනුව මේ සංඛ්‍යාලේකන අඩු වන විට අපිට පුලුවන් ක්‍රමානුකූලව රට විවෘත කරන්න. කරුණාකරලා මේ රුපියල් සත පැත්තකට දමලා අපි ජීවිත වලට වටිනාකමක් ලබා දීලා ජීවිත බේරාගමු.” යනුවෙන්ද සඳහන් කළේය.