රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාට නියම කළේය.
පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස කටයුතු කළ කාල සීමාවේ අයථා ලෙස රුපියල් කෝටි 30 කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගත්තේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබුණි.
එම නඩුවේ සාක්ෂිකරුවෙකුට බලපෑම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සජින් වාස් ගුණවර්ධන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉකුත්දා නියෝග කර තිබුණි.
එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී සජින් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් තම සේවාදායකයා ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට සූදානම් වන හෙයින් ප්රචාරක කටයුතුද ආරම්භ වීමට නියමිත නිසා ඔහු රිමාන්ඩ් භාරයේ පසුවූවොත් ඔහුට දැඩි අගතියක් සිදු විය හැකි බව දන්වා සිටියේය.
එම නිසා ඔහු ඕනෑම කොන්දේසියක් සහිත ඇපයක් මත මුදාහරින ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතා පෙර ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර මින් මතුවට සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස තරයේ අවවාද කළේය.