සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගෙන තිබෙන සමගි බලවේගයට සමගියක් හෝ, බලවේගයක් හෝ පෙනෙන්නට නැති බවත් එහි ඇත්තේ නිකම්ම නිකං බලහීන බෙදීමක් පමණක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
චන්දිම වීරක්කොඩි මහතා මේ බව සඳහන් කළේ ගාල්ල ගිනිගල ප්‍රදේශයේ ඊයේ (10) දා පැවති පාක්ෂික හමුවකදීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විරක්කොඩි මහතා ,
“අපි හැමදාමත් ජනතාව සමග ඉන්නවා. අපේ ප්‍රතිපත්ති ජනතාවාදීයි. අපි රට ගැන හිතලා, දිගුකාලීනව හිතලා තමයි තීන්දු තීරණ අරගෙන තියෙන්නේ. ඒ නිසා අපේ ජයග්‍රහණය පිළිබඳව අපට කිසිඳු සැකයක් නැහැ. හැබැයි අපට තිබුණා තුනෙන් දෙකක් ලැබෙයිද කියලා සැකයක්. එක්සත් ජාතික පක්ෂයේ වත්මන් වැඩපිළිවෙල තුළ, ඒ අය දෙකට බෙදීම තුළ අපිට තුනෙන් දෙකක බලය ලබාගැනීම ඉතාම පහසුයි. හබරාදුව ආසනයේ පමණක් නොව ලංකාවේම එජාප පාක්ෂිකයෝ වැල නොකැඩී ඇවිත් අප වටා එකතු වෙනවා.
නීතිපතිවරයා සෘජු තීරණ ගන්නා කෙනෙක් හැටියට එතුමා නිවැරදි තීරණ ගන්නවා. ඒ වගේම අපි රජයක් හැටියට පොලීසියට, නීතිපති දෙපාර්තමේන්තුවට, අධිකරණයට ස්වාධීනව වැඩකරන්න නිදහස ලබාදී තිබෙනවා. අවශ්‍ය සාක්ෂි සොයාගැනීමෙන් පසුව නීතිපතිවරයා සෑහීමට පත්වෙන අවස්ථාවේ දී තමයි නඩු පැවරීම කරන්නේ. අවුරුදු ගාණක් තිස්සේ නොකරපු දේවල් මේ මොහොතේ වෙනකොට විරුද්ධවාදීන් එක එක කතා කියන එක අරුමයක් නොවෙයි. යම් යම් ප්‍රකාශ කරන උදවිය ඇහුවේ බැඳුම්කරයට සම්බන්ධ අයට විරුද්ධව නඩු දාන්නේ කවදද කියලා. නඩු දානකොට කියනවා ඒක රංගනයක් කියලා. ඒ නිසා රටක් හැටියට ඉදිරියට යන්න ඕන නම් හොඳ දෙයක් වෙනකොට, හොඳ දෙයක් කරන කොට ඒවා අගයකරන්න පුරුදු වෙන්න ඕනෑ.
එජාපයේ සමගි බලවේගය කියන නමම ගැළපෙන්නේ නැහැනේ. සමගි බලවේගය ආරම්භ වෙන්නෙම අසමගිය තුළින්. සමගි බලවේගය ආරම්භ වෙන්නෙම බලවේගය දෙකට කැඩීම තුළින්. දෙකට තුනට ඒ බලවේගය කැඩීම තුළින් බලවේගය නෙමෙයි බලහීනය වෙනවා. ඒ නිසා සමගි බලවේගය කියන එකේ සමගියකුත් පෙන්න නැහැ, බලවේගයකුත් පෙන්න නැහැ. ඒක නිකම්ම නිකං බලහීන බෙදීමක් විතරයි යැයිද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා වැඩිදුරටත් පැවසීය.