සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගය සමග සිටින සියලුම මන්ත්‍රීවරුන්ට එක්සත් ජාතික පක්ෂයේ 'දොර තවමත් විවෘත' බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ අද (08දා) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
අලියා ලකුණින් මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව මැතිවරණ කොමිසමට දන්වා ඇති බැවින්, හංසයා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා නැවත කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වී අනුමැතිය ලබාගත යුතු බවද ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
සමගි ජනබලවේගය සන්ධානයෙන් නාමයෝජනා ලබාදී, යම් අයෙක් නීතිමය පියවරක් ගතහොත් නාමයෝජනා පත්‍රයම අහෝසි වීමේ අවදානම ගැනීමට වඩා, සියලු දෙනා එක්ව එක්සත් ජාතික පක්ෂය ලෙස තරග කිරීම වඩා සුදුසු බවද විජයවර්ධන මහතා මෙහිදී කියා සිටියේය.
"මම දැක්කා විවිධ මන්ත්‍රීවරු චෝදනා කරනවා මේ ඇති වී තිබෙන අර්බුද රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක් කියලා. රාජපක්ෂලා විසින් ඉතිහාසයේ විවිධ පක්ෂ කඩන්න කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා. ජනතා විමුක්ති පෙරමුණත් එක අවස්ථාවකදී කඩන්න කටයුතු කළා. එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුත් කඩලා ඔවුන්ට එකතු කර ගත්තා. ඔවුන් එදා ඉඳන්ම හිටියේ මේ වගේ දේශපාලන ගමනක.
එක්සත් ජාතික පක්ෂය ඒ අභියෝගයට මුහුණ දීලා වැඩ කළා. මේක එහෙම කඩා වැටෙන පක්ෂයක් නෙමෙයි. මේ වෙලාවේ අපි සියලු දෙනා එකට එකතු වෙන්න ඕන. අපි කාත් එක්කවත් ඩීල් දාලා නෑ.
සජිත් ප්‍රේමදාස මහත්මයා සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාව කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කළාම එහි ගැටලු තිබුණා. අපේ නීතිඥවරුන් නැගිටලා කිව්වේ මේක සන්ධානයක් වුණාට පක්ෂයක් විදියටයි ලියාපදිංචි කරලා තියෙන්නේ, ඒ නිසා අපේ පක්ෂයෙන් නාම යෝජනා දෙනකොට කවුරු හරි එයාලගේ කෙනෙක් ඇවිත් නඩුවක් දැම්මොත් මුළු නාමයෝජනා පත්‍රයම අහෝසි වෙන්න පුළුවන් කියන අවධානම තියෙනවා කියලයි. අනෙක් ප්රශ්නය ඇති වුණේ ලකුණට.
ජනතාව වෙනුවෙන් අපි එකට එකතුවෙලා ගමන් කරන්න ඕන. සජිත් ප්‍රේමදාස මහතාටත්, එතුමා සමග සිටින මගේ සහෝදර මන්ත්‍රීවරුන්ටත් එක්සත් ජාතික පක්ෂයේ දොර වහලා නෑ. තවමත් ඔවුන්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. දොර විවෘතයි. මේ ප්‍රශ්නවලින් රටටවත්, ජනතාවටවත් ප්‍රයෝජනයක් නෑ.
ප්රශ්නය - හංසයා ලකුණ ලබාදෙන්න එය අයිති පක්ෂය එකඟ වෙලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය කැමතිද ?
පිළිතුර - සාකච්ඡා තියෙනවා. නමුත් දැනට අපි සියලුදෙනා අලියා ලකුණින් යන්න තීරණය කරලා තියෙනවා. හංසයා ලකුණින් යන්න තීරණයක් ආවොත්, ඒ පිළිබඳ නැවත කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමැතිය ලබාගත යුතුයි. අවශ්‍ය නම් අපිට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරලා සාකච්ඡා කරන්න පුළුවන්.