පළාත් අතර සංචරණ සීමා රෙගුලාසි උල්ලංඝනය කරමින් මඩකලපුව, එරාවූර් ප්‍රදේශයේ සිට මගීන් 31 දෙනෙකු රැගෙන කොළඹ බලා ධාවනය වෙමින් තිබ පෞද්ගලික බස් රථයක් අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ පොලීසිය පවසයි.
ඊයේ (29) උදෑසන 1.30 ට පමණ කොළඹ - මහනුවර මාර්ගයේ මිරිස්වත්ත පොලිස් මාර්ග බාධකයේදී බස් රථය අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු මගීහු 31 දෙනෙකු සමග බස් රථය මෙලෙස පොලිස් බාරයට ගනු ලැබූ බවත් බස් රථයෙහි රියදුරාගෙන් ප්‍රශ්ණ කිරීමේදී ලබා දුන් තොරතුරු අසත්‍ය බව පෙනී ගිය බවත් පොලීසිය පවසයි.
විශාල මගීන් පිරිසක් රැගෙන පළාත් සංචරණ නීති කඩකරමින් බස් රථය කොළඹ බලා ධාවනය කිරීම සම්බන්ධයෙන් ගම්පහ සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ යන මහත්වරුන් මගීන්ගෙන්ද කරුණු විමසූහ.
පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ සංචරණ නීතී කඩකරමින් බස්රථය ධාවනය කිරීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිනිස එහි රියදුරු සහ කොන්දොස්තර සමග බස් රථය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා පැවසීය.
තිලකරත්න දිසානායක