ත්‍රස්ත ප්‍රහාරයත් සමග පසුබෑමට ලක්වූ මෙරට සංචාරක ව්‍යාපාරය යළි නඟා සිටුවීමට අදාළ සහන පිළිබඳ යෝජනා කිහිපයක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ජනාධිපතිවරයා හා වාණිජ මණ්ඩල සාමාජිකයන් අතර හමුවක් ඊයේ (06දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී මුදල් අමාත්‍යාංශ නියෝජිතයන් මේ බව පෙන්වා දුන්හ.
මෙහිදී අදහස් දැක් වූ වාණිජ මණ්ඩල සාමාජිකයන් සහ සංචාරක ක්ෂේත්රයේ ව්‍යාපාරික ප්‍රජාව පෙන්වා දී ඇත්තේ මෙරට ආරක්ෂක අංශ කෙරහි පුර්ණ විශ්වාසය තබමින් තම ව්‍යාපාර කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට සූදානම් බවයි.
ත්රස්තවාදයට එරෙහිව පුළුල් මෙහෙයුමක් දියත් කරමින් සියලුදෙනාට පිළිගත හැකි අන්දමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙරට ආරක්ෂක අංශ මේ වන විට සමත් වුව ද එම වැඩපිළිවෙළ නිසි ලෙස ජාත්‍යන්තරය වෙත සන්නිවේදනය නොවීම හේතුවෙන් සංචාරක ක්ෂේත්රය ඇතුළු ව්‍යාපාර අංශයේ කටයුතුවලට යම් බාධාවක් එල්ල වී ඇති බව පෙන්වා දුන් නියෝජිතයන් මින් ඉදිරියට යාමට නම් රජයේ ආරක්ෂක වැඩපිළිවෙළ සියලු ප්‍රජාවන් වෙත සන්නිවේදනය වීමේ නිසි යාන්ත්‍රණයක් අවශ්‍ය බව ද කියා සිටියේය.
එමෙන්ම විවිධ පාර්ශ්වයන් විවිධ ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් රටේ දෛනික කටයුතු අඩාලවී තිබෙන අතර වෛරි සහ අසත්‍ය ප්‍රචාරයන්ගෙන් වැළකී පොදු ප්‍රකාශයක් සමාජගත වීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.