රටපුරා පවතින පොහොර හිගය සමඟ දඹුල්ල ප්‍රදේශයේ ඇතැම් පොහොර අලෙවි කරන ව්‍යාපාරිකයින් ඉතා සූක්ෂම ලෙස රුපියල් දහසේ පොහොර මිටිය රු 1200කට විකුණන බව ගොවීහු චෝදනා කරති.
දඹුල්ල බස් නැවතුම්පළ පිටුපස පොහොර අලෙවි කරන පෞද්ගලික ආයතනයක 30 දින අලුයම යුරියා පොහොර මිටියක් රුපියල් එකදාස් දෙසිය බැගින් අලෙවි කළ බවත් එම යූරියා පොහොර මිටියක වෙළඳපළේ මිල රුපියල් දහසක් ලෙස ප්‍රදර්ශනය කර තිබියදීත් නීතිගත කර තිබියදී මෙසේ අලෙවි කරන බව ගොවීන් කියති.
කඩින් කඩ ඉතා රහසේ මෙම පොහොර තොග ගොවීන්ට අලෙවි කරමින් ව්‍යාපාරික ස්ථානය වසා ඔවුන් වෙනත් ව්‍යාපාරික ස්ථානයක රැඳී සිටින බවද එහිදී අනාවරණය විය.
අප එම ස්ථානයට යන විටත් රුපියල් එක්දහස් දෙසිය බැගින් පොහොර මිලදී ගත් ගොවීන් රැසක් බස්නැවතුම්පල ඉදිරිපිට එම වෙළඳ සැල ආසන්නයේම පොහොර තබාගෙන රැඳී සිටියහ.
මෙම ගොවීන් සියලු දෙනාම කියා සිටියේ රුපියල් 1200 බැගින් තමන්ට පොහොර මිටිය අලෙවි කළ බවත් ඒ සඳහා මිල සඳහන් බිල් පතක් හෝ ලබා නොදුන් බව ගොවීහු කියති.
ගොවීන් නැඟූ මෙම චෝදනාව පිළිබඳව පෞද්ගලික පොහොර අලෙවිකරණ ආයතනයේ ගොස් එහි අයිතිකරුවන්ගෙන් විමසීමේදී කියා සිටියේ යූරියා පොහොර තම වෙළඳසැලේ නොමැති බවත් උදෑසන තිබූ පොහොර අලෙවි කළ බව ය.
තමන් රුපියල් 1200 ක ට නොව රුපියල් දහසකට පොහොර අලෙවි කළ බව ව්‍යාපාරිකයා පැවසීය.
පසුව නැවතත් ව්‍යාපාරිකයා නැගූ නිවැරැදිභාවය සොයා අප ගොවීන් ගෙන් විමසීමක් කළෙමු. එහිදී ගොවීන් කියා සිටියේ තමන් බොරුවක් මුසාවක් පවසන්නේ නම් තම බව භෝග අස්වනු ගොවිතැන් විනාශ විය යුතු බවය. වීෂ්ණු දෙවියන්ට මෙම චෝදනාව භාර කරන බව ගොවීන් දැඩි කනස්සල්ලෙන් යුතුව ප්‍රකාශ කරන්නට වූහ.
පොහොර හිඟය නිසා වැඩි මිලට මිලදී ගැනීමට සිදුවූ බවත් කිසිසේත් තමන්ට මුසාවක් පැවසීමට අවශ්‍ය නැති බව ගොවීන් දැඩි ලෙස ප්‍රකාශ කරන්නට වූයේ තම දෑත් පවා මාධ්‍යයට පෙන්වා දෙමිනි. ඇතැම් ගොවීන් තම දෑත එකතු කොට විෂ්ණු දෙවියන්ට වැඳ මෙම අව නඩුව කියන්නට ඉදිරිපත් වීමද විශේෂත්වයකි.
රටපුරා පොහොර හිඟය මවාපාමින් ඉතා සූක්ෂම ලෙස අවස්ථා ගණනාවකදීම පොහොර වැඩි මිලට අලෙවි කරන ජාවාරම් පාරිභෝගික අධිකාරිය මගින් අනාවරණය කර තිබිණි .පසුගියදා නාඋල නගරයේ ද මේ ආකාරයෙන් වැඩි මිලට පොහොර විකුණද්දි මාතලේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් එම පොහොර අලෙවි කරන වෙළෙඳ සැලට පැමිණ ගොවීන්ට නිසි මිලට පොහොර ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට යෙදුනහ.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස