ෂරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය නොදීමටත් මද්රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගෙන ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය.
රටේ ආරක්ෂාව සාමාන්‍ය තත්වයට පත්ව තිබෙන බැවින් හෙට (21) දින සිට දිවයිනේ සියලු පාසල් විවෘත කරන බවත් ඒ අනුව පාසල් වෙත ගොස් සුපුරුදු පරිදි අධ්‍යාපන කටයුතුවල නියැලෙන ලෙස තමන් සියලුම පාසල් දරු දැරියන්ගෙන් ඉල්ලීමක් කර සිටින බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.
නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදු කරන ලද විමර්ශනයෙන් පසු සකස් කළ වාර්තාව ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ මහතා අද (20) දින දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කළ අතර, ඉන් අනතුරුව ඒ පිළිබඳව මාධ්‍ය වෙත කරුණු දක්වමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
“ෂරියා විශ්වවිද්‍යාලයට අපි අනුමැතිය දෙන්නේ නැහැ. එහෙම බලයකුත් නැහැ. අපට හැකි වන්නේ උපාධි ආයතන අනුමත කිරීමට පමණයි. මෙය ෂරියා විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යා නොහැකි බවට නීතියෙන් ප්‍රකාශයට පත් කළ යුතුයි.
මීට අමතරව මද්රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විය යුතු බවට තීරණය කර තිබෙනවා. එහි ඇතැම් වැඩකටයුතු ගැන අධ්‍යාපන අමාත්‍යංශය හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය එකතුවී ක්‍රියා කිරීමට සිදුවේවි.
මෙම කාරණා දෙක පිළිබඳව මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු යෝජනා ඉදිරිපත් කළා. ඔවුන්ගේ එම යෝජනා පිළිබඳව සාකච්ඡා කොට මා ද ඒවා අනුමත කළා. ඒ අනුව එයට සහයෝගය ලබාදෙනවා.
මෙහිදී මා විශේෂ කාරණයක් සිහිපත් කිරීමට කැමැතියි. දැන් රටේ ආරක්ෂාව සාමාන්‍ය තත්වයට පත්ව තිබෙන බැවින් හෙට (21) දින සිට සියලු පාසල් විවෘත වෙනවා. තමන්ගේ පාසලට පැමිණ අධ්‍යාපන කටයුතුවල නියැලෙන ලෙස සියලු පාසල් දරු දැරියන්ගෙන් මා ඉල්ලා සිටිනවා.”