ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ තවත් සේවකයින් 05 දෙනෙකුට අද දින කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වීමත් සමගම එම ආයතනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
එමෙන්ම රාගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙද නිලධාරිනියකට ද අද දින කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති බව කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා මේ අතර ප්‍රකාශ කළේය.
කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ අද දින පී.සී.ආර්.පරීක්ෂණ 114 ක් සහ රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ 50 ක් ද සිදු කළ බව සුරේෂ් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය .
එසේම අද දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 156 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 7,629 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
අද දින මෙසේ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් අතර දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 62 දෙනෙකු ද , අත්තනගල්ල කොට්ඨාසයෙන් 33 දෙනෙකු ද , බියගම කොට්ඨාසයෙන් 17 දෙනෙකු ද , මහර කොට්ඨාසය තුළින් 13 දෙනෙකු ද සිටින බව වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
මේ අතර මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි පුද්ගලයෙකු පෞද්ගලික අංශයේ රෝහලකින් සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත රැකියාවක් සදහා ගොස් ඇති අතර , රජය මගින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ වාර්තාවේ ඔහුට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී ඇති බව වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
එ නිසා මොහු පිළිබඳව පොලීසියට කරුණු වාර්තා කර , මේ පිළිබඳව වහාම එරටට දැනුම් දීමට පියවර ගෙන ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .