ශ්රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසරේ දෙසැම්ර් 31 දක්වා වූ අවසන් මාස 09 තුළදී ලැබූ ශුද්ධ අලාභය රුපියල් බිලියන 40ක් බව එම සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
කෙසේ වෙතත් 2017 වසරේ එම කාලසීමාවේදීම එම සමාගම අත්කරගත් ශුද්ධ අලාභය රුපියල් බිලියන 11ක් ලෙස සඳහන් වෙයි. ඒ අනුව පෙර වසරට වඩා පසුගිය වසරේදී ශ්රී ලංකන් ගුවන් සමාගම ලැබූ ශුද්ධ අලාභය රුපියල් බිලියන 29ක් බව වාර්තා සඳහන් කරයි.
මෙහිදී විශේෂයෙන්ම සමාගමේ ගෙවීම් බොහෝමයක් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මුදල් ඒකක මගින් සිදු කිරීම හේතුවෙන් සහ 2018 වසරේදී ශ්රී ලංකාවේ විනිමය අනුපාතය ඩොලරයට සාපේක්ෂව ඉතා දරුණු ලෙස අවප්රමාණය වීම නිසා මෙලෙස මෙහෙයුම් පිරිවැය අපේක්ෂා කළ අගයට වඩා ඉහළ ගොස් ඇතැයි සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
"ගෝලීය ඉන්ධන මිල ඉහළ යෑම, දේශීය හා කලාපීය රටවල මුදල් වේගවත් ලෙස අවප්රමාණයවීම සහ මෙරට දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් 2018 වසර ගුවන් සමාගමට අභියෝගාත්මක වසරක් විය" යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
එසේම අවසන් මාස නවය තුළදී පොලී වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 47ක් වූ බවත්, ගුවන්යානා සම්බන්ධ ගෙවීම් සඳහා පැනවූ රඳවා ගැනීමේ බදුවල ඍණාත්මක බලපෑම ඩොලර් මිලියන 23ක් වූ බවත් සමාගම වැඩිදුරටත් පවසයි.
ඒ අනුව මෙය සිය ධනාත්මක ප්රතිඵලවලට අහිතකර ලෙස බලපා ඇතැයිද සමාගම විශ්වාසය පළ කරයි.
කෙසේ වෙතත් මෙම මාස නවය කාලය තුළදී ශ්රී ලංකන් ගුවන් සමාගමේ කාර්යසාධනය සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීමට හැකි වූ බව සමාගම පවසයි.
ඒ අනුව ගුවන් යානා යෙදවීම, ගුවන් මගීන් සහ භාණ්ඩ ප්රවාහන ආදායම, වෙළෙඳ පොළ ආදායම සහ ඒකක පිරිවැය යනාදියෙහි සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර තිබේ.