මෙරව ආරම්භ වු ශ්‍රී පාද වන්දනාවාරය සඳහා විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව වැඩි වශයෙන් වන්දනාකරුවන් පැමිණෙන හැටන් නල්ලතන්නිය, කුරුවිට එරත්න හා රත්නපුර පලාබද්දල යන මාර්ගවල පොලිස් මුරපොලවල් ආරම්භ කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
හැටන් නල්ලතන්නිය මාර්ගයේ මාවුස්සාකැලේ, රතුඅම්බලම, ඉඳිකටුපාන හා ගඟුලතැන්න යන ස්ථානවලත් කුරුවිට එරත්න මාර්ගයේ අඩවිකන්ද, රත්නපුර පලාබද්දල මාර්ගයේ පලාබද්දල, පවනැල්ල, හැරමිටිපාන ආදී ප්‍රදේශවල මෙම පොලිස් මුර පොලවල් ස්ථාපිත කොට ඇති බවත්, ඊට අමතරව සිරිපා මලුවේද පොලිස් මුර පොලක් පිහිටුවා ඇති බවද පොලීසිය පවසයි.
මෙම මුර පොලවල්වලදී සිරිපා වන්දනාවේ පැමිණෙන සියළුම බැතිමතුන්ගේ අවසරපත් පරික්ෂා කිරීම් සිදු කරනු ලබන බවත් නිසි අවසරයක් නොමැති කිසිවෙකුටත් සිරිපා මලුවට ඇතුළුවීමට ඉඩ නොදීමට පියවර ගෙන ඇති බවද පොලීසිය කියයි.
කොවිඩ් ව්‍යාප්තවීම මැඬලීමේ සෞඛ්‍ය උපදෙස් අනුව නිසි අවසර පත් නොමැති පැමිණෙන බැතිමතුන් යලි හරවා යවිමට පියවර ගන්නා බැවින් නිසි අවසර පත් නොමැතිව අපහසුතාවයට පත්වන අයුරින් සිරිපා වන්දනාවේ නොයන ලෙස සියළුම බැතිමතුන්ගෙන් පොලීසිය ඉල්ලා සිටියි.
ශාන් හුලංනුගේ