2020දී නිකුත් කළ චක්‍රලේකයෙන් පසු විශ්ව විද්‍යාල උප කුලපතිවරුන් පත් කිරීමට මෙතෙක් කල් නොතිබුණු දේශපාලනික කමිටුවක් පත් කර තිබෙන බවත් එලෙස විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් පත් කර කමිටුවේ උසස් පෙළවත් නොමැති සාමාජිකයන් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
ඒ අනුව උපකුලපතිවරන් පත් කිරීම දේශපාලනයෙන් තොරව කිරීමට හැකියාවත් තිබෙනවාද යන්න පැහිදිලි කළ යුතු බව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (08දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
අදාල චක්‍රලේකය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් පවතින බවත් එහිදී ලබා දෙන තීන්දු අනුව කටයුතු කරන බවත් ඊට පිළිතුරු ලබා දෙමින් සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
කෙසේ වෙතත් දේශපාලන හේතු මත මෙම චක්‍රලේකනය ප්‍රකාරව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරු පත්වන්නේ නොමැති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන - උපකුලපති තනතුරු පත්කිරීමට අදාලව 2018.06.08 වන දින නිකුත් කර තිබු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේකය (4/2018) අවලංගු කර ඇත. ඒ වෙනුවට 2020.05.07 චක්‍රලේක අංක 2/2020 දරණ චක්‍රලේකය නිකුත් කරන ලදි. උපකුලපති තනතුර සඳහා පත්කිරීම පිළිබඳ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නව චක්‍රලේක 2/2020 නිකුත් කිරීමෙන් පසු එම චක්‍රලේකය අභියෝගයට ලක් කරමින් උපකුලපති තනතුර සඳහා අපේක්ෂනයෙක් වූ පෙත්සම් කරුවෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දෙකක් ගොනු කර තිබේ. උපකුලපති තනතුර සඳහා පත් කිරීමේ අධිකාරියට එම අපේක්ෂකයා විසින් නාමයෝජනා ඉදිරිපත් කර තිබුනේ 4/2018 චක්‍රලේකය පදනම් කරගෙන වන අතර පත් කිරීමේ අධිකාරියෙන් එම අපේක්ෂකයා උපකුලපති ලෙස පත් නොකිරීම සම්බන්දයෙන් අදාල අපේක්ෂකායා විසින් මෙතෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කර තිබේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ - 1978 අංක 16 දරණ උපකුලපතිවරුන් පත් කිරීමේ පනතේ 34 වැනි වගන්තියේ තිබෙනවා මේ ක්‍රියාවලිය කෙරෙන්න ඔ්නී කොහොමද කියලා. ඒ අනුව තමය් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් 4/2018 කියන චක්‍රලේකය ප්‍රකාරව තමයි විශ්ව විද්‍යාල වලට උපකුලපතිවරුන් පත්කර ගත්තේ. ඒ චක්‍රලේකය ප්‍රකාරව ඒ වන විට අයදුම් කරලා තිබෙන උපකුලපතිවරු සිටිද්දි ඔබතුමන්ලා එකපාරම 2/2020 චක්‍රලේකය ෙගනාවා. ඒ හරහා මෙතෙක් කල් නොතිබුණු දේශපාලන හෙන්චයියන්ගෙන් සමන්විත කමිටුවක් හැදුවා. මම අවශ්‍ය නම් නම් සමග කියන්නම්. උසස්පෙලත් නැති මිනිස්සු මේකේ ඉන්නවා. ඒ කියන්නේ විශ්ව විද්‍යාල උපකුලපතිවරු පත් කරන කමිටුවේ උසස්පෙලවත් නැති මිනිස්සු ඉන්නවා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පවා මේකට විරෝධය පළ කරලා තිබෙනවා. මේ රටේ විශ්ව විද්‍යාල පද්දතියේ කුලපතිවරු ජොක් එකක් වෙලානේ තියෙන්නේ. මම ඉල්ලීමක් කරනවා ඇමතිවරයාගෙන් මේ රටේ උපකුලපති පත් කරන එකවත් දේශපාලනයෙන් අතහැර දාලා මේච්චර කාලයක් වුනු විදියට කරගෙන යාමට හැකියාවත් තිබෙනවාද?
සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන - 2022 මාර්තු 07 තමයි මීලග නඩු දිනය. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දිනයේදී තීරණයක් ප්‍රකාශයට පත් කරයි. එතෙක් අපි ඉවසීමෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ චක්‍රලේකය යලි සකස් කිරීමට අදාල කාරක සභාවේ සාමාජිකයන් ගැන මම විවේචනයක් කරන්න යන්නේ නෑ. අපි ගරු කරන්න ඔ්නී විශ්ව විද්‍යාල වල ආචාර්ය මහාචාර්යවරුන්ට කුමන දේශපාලන හිතවත්කම් තිබුණත්.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි - විශව විද්‍යාල පද්දතියට දේශපාලන හිතවතුන් දැමීම තුල මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ම පිළි ගන්නවා උන්වහන්සේට යම්කිසි දැනුමක් නැති බව. මේ වගේ දේශපාලනික තනතුරු යෝජනා වීම එපා කියන්න පුලුවන් හයිය ඔබතුමාට තිබෙනවාද?
සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන - මම කලින් දුන්න පිළිතුරමයි දෙන්න තිබෙන්නේ. දේශපාලන හේතු මත මේ චක්‍රලේකනය ප්‍රකාරව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරු පත්වෙන්නේ නෑ.