ජනතාවට විදුලි බිලේ සහනය ලබාදීමට රජය මේ වන විට කටයුතු කර ඇති අතර, ඒ වෙනුවෙන් විදුලි වියදමෙන් කොටසක් රජය විසින් දැරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (16) යටියන්තොට ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කලේය.
ඒ අනුව මාර්තු, අප්‍රේල්, මැයි, මාසවල බිල්පත් වල වටිනාකම පෙබරවාරි මාසයේ බිල්පතේ ගාස්තුවට වඩා වැඩි නම් ඒම පාරිභෝගිකයින් සඳහා පෙබරවාරි මාසයේ බිල්පතේ වටිනාකම අදාල මාස තුන සදහා ආදේශ කිරීමට කටයුතු කර තිබේ.
මේ වන විට මාර්තු, අප්‍රේල්, මැයි, මාසවල බිල්පත් ගෙවා ඇති පාරිභෝගිකයින් වැඩිපුර මුදල් ගෙවා ඇත්නම් ඒ මුදල ඉදිරි බිල්පතට හිලව් කිරීමට කටයුතු කරනු ඇත.
නිසි අයවැය ලේඛනයක් නොමැතිව සාමාන්‍ය කැබිනට් මණ්ඩලයක් පවත්වා ගෙන යමින් පසුගිය මාස තුන තුළදී කොරෝනා වෛරසයද මැඩ පවත්වමින් රජය විශාල වැඩ කොටසක් දියත් කළ බවත්, පසුගිය මාස තුනක කාලය තුළ රජය වැඩක් නොකළ බවට ඇතැම් දේශපාලන පක්ෂ සිදු කරන චෝදනාව මැතිවරණයේදී ජනතාව පිළිතුරුදෙනු ඇති බවත්, අග්‍රාමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.
2005 වසරේ යුද්ධය අවසන් වූ දින සිට ජනතාවට නිදහස ලබා දෙමින් රට සංවර්ධනය කරමින් සාර්ථකව ඉදිරියට ආ ගමන 2015 දී නතර වූ අතර, ආපස්සට ගිය රටේ ඉදිරි ගමන නව රජයක් තුළින් සාර්ථකව ආරම්භ කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
