මෙම රජය පලවා හැර විකල්ප ආණ්ඩුවක් බිහි කිරීමට බොහෝ දෙනාගේ බලාපොරොත්තුවක් තිබුනත් ස්ථිර වැඩපිළිවෙළක් නොමැතිවීම හේතුවෙන් එය තරමක් කල් ගත වුවත් මේ යන ආකාරයට එය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා මහනුවර දී පැවසීය .
එය මහතා දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය .
යුගදනවි ගනුදෙනුව නතර කිරීමට අප 100 % ක් කැපවී කටයුතු කරනවා . එය මහා විශාල වංචාවක් . ඇමෙරිකානු පුරවැසියෙකුව ඇමරිකානු සමාගමක් ඇවිත් බියකර මහ රෑ 12: 30 ට හොරෙන් අත්සන් කර ගෙන ගිය ගිවිසුමක් . ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වන විටත් නඩු තිබෙනවා . ඇමෙරිකානු පුරවැසියකු ආකාරයේ ගිවිසුමක් අත්සන් කළ නිසා ඔහු ඇමති ධුරයෙන් හා මන්ත්‍රීධූරයෙන් පිටමං කළ යුතුයි .
අයවැයක මූලික අවශ්‍යතාවය විය යුත්තේ රටක ඉලක්කගත ආදායම ළඟා කර ගන්නේ කොහොමද රටේ ආදායම රජය වියදම් කරන්නේ කොහොමද ඒ දෙක අතර පරතරය පියවා ගන්නේ කොහොමද කියලා සංඛ්‍යා ලේඛන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි . නමුත් මේ අයවැය සංඛ්‍යාලේඛනයේ එවැන්නක් සඳහන්ව නැහැ . ඉන් රටට ජනතාවට සෙතක් වන්නේ නැහැ .
නමුත් මේ අය වැයට මට පක්ෂව ඡන්දය දෙන්න වෙනවා . අය වැයක් කොතරම් දුර්වල වුවද අපේ රාජ්‍ය සේවාව පවත්වාගෙන යායුතුයි . අයවැය පරාද කරනවා නම් විකල්ප ආණ්ඩුවක් හැදීමට ලෑස්ති වී සිටිය යුතුයි . ඊට සූදානම් නැත්නම් එම අයවැය අප සම්මත කළ යුතුයි . එසේ නොකළහොත් රාජ්‍ය සේවය කඩා වැටෙනවා . එසේ වුවත් වුවහොත් සෞඛ්‍ය සේවාව අධ්‍යාපනය ඇතුළු සියලු දේ කඩා වැටෙනවා . නමුත් මේ අය වැය විකෘතියක් . හිටපු මුදල් අමාත්‍යවරුන් දෙස බැලීමේදී අපේ රට ලැජ්ජාවට පත්විය යුතුයි අපේ රට පත්ව තිබෙන ඉරණම සම්බන්ධයෙන් . නමුත් අයවැයට පක්ෂව ඡන්දය දෙන්න වෙනවා .
විකල්ප ආණ්ඩුවක් සෑදීමට බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටියත් ස්ථාවර වැඩපිළිවෙළක් නැහැ . නමුත් මේ යන ආකාරයට එම වැඩපිළිවෙළ ඉක්මනින් හැදෙයි . එවිට මා ඒ පිළිබඳව සලකා බලනවා . මා පක්ෂයක් නියෝජනය කළත් මා දේශපාලන වහලෙක් නොවේ . මා ජනතාවටත් කියන්නේ දේශපාලන වහල්ලු වෙන්න එපා . ඉන් මිදෙන තුරු රට ගොඩ ගන්න අමාරුයි පාර්ලිමේන්තුවේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා කියන්නේ ඔබගේ ජනතාව දේශපාලන වහල්ලු කරන්න එපා . ජනතාවගේ පැත්තේ හිටගන්න .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ දැවැන්ත දේශපාලන පක්ෂයක් . ඊට අදටත් පිළිගැනීමක් තිබෙනවා . නමුත් 20 වන සංශෝධනය හා වරාය කොමිෂන් සභා පනත වැනි දේට ඡන්දය දීපු නිසා යම් පසුබෑමකට ලක්ව තිබෙනවා . මේ රජයේ ඇමතිකම් ලබා ගැනීමත් ඊට බලපා තිබෙනවා . නමුත් ඉදිරියේදී ශක්තිමත්ව නැගී හිටී .
මා මීට පෙරත් කියා තිබෙනවා මේ රජය තිබෙනතුරු නව ව්‍යවස්ථාවක් එන්නෙ නෑ කියා . එය මායාවක් පමණයි . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න නම් එක් එක් අයට හිතෙන ආකාරයට හදා පාර්ලිමේන්තුවට ගෙනාවා කියා එය භාරගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සූදානම් නැහැ . ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැදීමට පූර්ණ බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවට . පාර්ලිමේන්තුව තියෙන්නේ නීති සම්පාදනය කිරීමටයි . එතන කරන්න ඕන දේ වෙනත් කොහේ හරි කරලා ගෙනාවට පාර්ලිමේන්තුව සූදානම් නෑ එය භාරගැනීමට . එසේ වුවහොත් පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්වෙනවා . ඊට ඉඩ දෙන්න අප සූදානම් නැහැ .
ෂේන් සෙනෙවිරත්න