"සැමට විදුලිය" යටතේ ලංකාවේ සෑම නිවසකටම විදුලිය ලබාදීමේ වැඩසටහන් ක්රියාත්මක වෙද්දී වසර 75 ක කාලයක සිට විදුලිය නොමැතිව පීඩාවට පත්ව සිටින ගම්මානයක් පිළිබඳ කුරුණෑගල දිස්ත්රික්කයේ ඇතැයි කිවහොත් බොහෝ දෙනකු විමතියට පත්වනු ඇත.
පොල්ගහවෙල ලේකම් කොට්ඨාසයට අයත් පනලිය ලයිබෙරිය වත්ත ගම්මානයේ ජීවත්වන පවුල් 20 කට අදටත් විදුලිය නොමැතිව මේ වන විට පවුල් කීපයක් ද ගම හැර ගොස් ඇති බව එම ගම්මුන් පවසයි .
තම ගම්මානයට විදුලිය ලබා දීමට කිහිප වතාවක්ම මුල පුරා තිබුනත් ගමට රැහැන් ඇදීමට සිදුව ඇත්තේ දුම්රිය මාර්ගයක් හරහා වන බැවින් ලක්ෂ 5කට අධික මුදලක් ගෙවීමට නොහැකි වීමත් එදිනෙදා කුලී වැඩ කරන ඔවුන් එම මුදල ගෙවා ගැනීමට නොහැකිව දැඩි සුවතාවයට පත්ව සිටින බව ගම්මුන් පවසති .
මෙම ගැටලුව පිළිබද අදහස් දැක්වූ උපුල් ඉන්දික මහතා
අපි මේ ලයිබෙරියවත්තේ ජීවත්වෙන මිනිස්සු එදා ඉඳලා අද වෙනතුරුත් විදුලිය ලැබිල නැහැ.
මේ ඉන්න හැම කෙනාටම මේ ප්රශ්නයෙන් ගොඩක් දුක් විඳිනවා. අපි කියන්නේ මේ ප්රශ්නෙට විසඳුමක් දෙන්න කියලා පහුගිය කාලේ ලයිට් කණු ගෙනල්ලා නැවත අරගෙන ගිහිල්ලා තියෙනවා . විදුලිය දෙනවා කියලා බලාපොරොත්තුවක් දීලා.
විදුලි බල මණ්ඩලයෙන් ඇවිල්ලා මෙහේ මැනලා ලක්ෂ 5 ක මුදලක් ඇස්තමේන්තු කරලා තියෙනවා. ගම ආසන්නේ ඇති දුම්රිය මාර්ගය හරහා උඩින් දැලක් දාලා ඒ හරහා විදුලි රැහැන් ඇදලා විදුලිය ලබා දෙන්න ලක්ෂ 5 ක මුදලක් අපෙන් ඉල්ලනවා .
අපේ ගමේ ජීවත් වෙන්නේ රබර් කිරි කපලා එදිනෙදා ජීවත් වෙන මිනිස්සු කොහොමද මෙච්චර ලොකු මුදලක් ගෙවන්නේ කොහොමද ? ගෙවල් වලට විදුලිය ගන්න අයදුම්පත් පුරවපු අය අද මේ වන වෙද්දි මැරිලා ඒ මිනිස්සු නෑ අයදුම්පත තවම තියෙනවා බලාගෙන යනකොට අපේ මුළු ජීවිතේම අඳුරේ තමයි ජීවත් වෙලා තියෙන්නෙ
අපි කියන්නේ එදා ඉඳලා මේ දක්වා නැතිවුනු විදුලි සම්පත ලංකාවේ හැම කෙනාම මේ ලබන සම්පත අපේ ගමේ කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැහැ ඒ නිසා අපි කාරුණිකව ඉල්ලා සිටින්නේ අපේ මේ ගැටලුව විසඳලා දෙන්න කියලා ගමේ මලගෙදරක් පින්කමක් තිබ්බත් අඳුරේ විදුලිය ගන්න තැනක් නැහැ
ඒ තරමට අපි අසරණ වෙලා හැම කෙනාම ඇවිත් කියන්නේ අද දෙන්නම් හෙට දෙන්නම් කියලා හැමදාම පොරොන්දු වෙනවා ඒත් අවුරුදු ගාණක් තිස්සේ මේ ගැටලුවෙන් බැට කනවා. අපේ ළමයින්ට පාඩම් කරගන්න විදිහක් නැහැ හවස හය හත වෙද්දි මේ තැන් වල ගෙවල් තියෙනවද කියලවත් හොයා ගන්න විදිහක් නැහැ
දේශපාලනය කරන මේ රට කරවන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටින්නේ අපට මේ විදුලි සම්පත ලබා දෙන්න කියලා .
අලව්ව - අධිකාරි මුදියන්සේ