දින නියමයක් නොමැතිව වසා දමා තිබුණු රජරට විශ්වවිද්‍යාලය ලබන 16 වන බදාදා යළි විවෘත කෙරෙන බව එහි පාලනාධිකාරිය පවසයි.
ඒ අනුව රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ නේවාසිකාගාර වලින් පිටව ගිය සිසු සිසුවියන් හට, 15 වනදා වනවිට නේවාසිකාගාර වලට පැමිණෙන ලෙසට පාලනාධිකාරිය දන්වා තිබේ.
සිසුන් දහසය දෙනකුගේ පන්ති තහනම් කිරීමට පාලනාධිකාරිය පියවර ගැනීම හේතුවෙන් එයට විරෝධය පළ කරමින්, සිසුන් පිරිසක් පසුගියදා රජරට විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලේ බලහත්කාරයෙන් රැඳී සිටීම හේතුවෙන්, දින නියමයක් නොමැතිව විශ්වවිද්‍යාලය වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබුණි.
රජරට විශ්ව විද්‍යාලයේ නව උපකුලපති ලෙස පසුගිය 3 දා වැඩ භාර ගත් ආචාර්ය ආනන්ද කරුණාරත්න මහතාගෙන් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ, විශ්ව විද්‍යාලය වසා දැමීම හේතුවෙන් පීඨ හතරක සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා එල්ලවී තිබීම නිසාත්, පන්ති තහනමකට යටත් වූ ශිෂ්‍යයන් යම් කිසි දඬුවමකට යටත් ව සිටි නිසාත්, සියළුම පාර්ශව සමඟ සාකච්ඡා කර පාලක සභාව ඒකමතිකව ගත් තීරණයකට අනුව, ලබන 16 දා අධ්‍යාපන කටයුතු සඳහා මිහින්තලේ පිහිටි රජරට විශ්වවිද්‍යාලය විවෘත කිරීමට තීරණය කළ බවයි.
අනුරාධපුර-බී.ජි චතුරංග