නිවාස කීපයකට යන මාර්ගයක් සම්බන්ධ ගැටලුවක් මත ඌව ප්‍රධාන අමාත්‍යවරයා හා ඌව පළාතේ රජයේ වෛද්‍යවරුන් අතර වූ අර්බුදයක් හේතුවෙන් සති පහකට අධික කාලයක් වසා තිබූ දෙමෝදර ප්‍රාදේශීය රෝහල බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනිතා තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (09) යළි විවෘත කරනු ලැබීය.
ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන දෙමෝදර ප්‍රාදේශීය රෝහල ආසන්නයෙන් මාර්ගයක් ලබාදීම සම්බන්ධයෙන් ඉකුත් මාර්තු 27 වැනි දින පැවැති විශේෂ සාකච්ඡාවකදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනිතා තෙන්නකෝන් මහත්මිය අපහසුතාවයට පත්වන ලෙස කතා කළේයැයි කියන සිද්ධියක් මත ඌව පළාත පුරා රෝහල් වර්ජනයක් හා උද්ඝෝෂණ රැල්ලක් දින කීපයක් සිදුවූ අතර ප්‍රශ්නගත දෙමෝදර ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් මාර්තු මස 29 වැනි දින එම රෝහලේ සේවයෙන් ඉවත්වීමත් සමඟ රෝහල දින නියමයක් නොමැතිව වසා දමනු ලැබීය.
මේ හේතුවෙන් ප්‍රදේශවාසී ජනතාව දැඩි අසීරුතාවයට පත්ව සිටි අතර ජනතාවගේ දැඩි ඉල්ලීම මත අද දින රෝගී ජනතාව වෙනුවෙන් රෝහල යළි විවෘත කරනු ලැබීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක හා එම සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍යවරුන්ද රෝහල් කාර්ය මණ්ඩලය හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.