වව්නියාව පොලිස් පවුල් සුබසාධක සංගමය මුදල් අවභාවිත කර ඇති බව වව්නියාව කොට්ඨාසයේ පොලිස් නිලධාරීහු චෝදනා කරති.
මේ පිළිබඳව සඳහන් කරමින් එම කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.
වව්නියාව පොලිස් පවුල් සුබසාධක සංගමය 2019/01/01 සිට 2019/11/30 දක්වා ශුද්ධ ආදායම රුපියල් 1,834,840 ක් උපයා ඇති නමුත් එම ආදායමටත් වඩා වඩා රුපියල් 1,575,471ක වියදමක් විනිවිද භාවයකින් තොරව දරා ඇති වව්නියාව පොලිස් නිලධාරීන් පෙන්වා දෙයි.
ඒ අනුව විවිධාකාරයෙන් රුපියල් 3410315ක මුදලක් වියදම්කර ඇතැයිද පොලිස් නිලධාරීහු පෙන්වා දෙති.
මීට අමතරව සුබසාධක වෙළඳසැල පරිපාලනය සඳහා පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළුව නිලධාරීන් 45ක් යොදවා ඇති බවත් ඒ සඳහා වැටුප් ලෙස වසරකට රුපියල් ලක්ෂ තුන්සිය තිස් හයක් පමණ වියදමක් රජයට දැරීමට සිදුව ඇති බවත් එය බරපතල පරිපාලනමය දෝශයක් බවත් පොලිස් නිලධාරීහු පවසති.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානය යොමුකර වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් අදාළ ලිඛිත පැමිණිල්ලේ සඳහන් වෙයි. මීට අමතරව මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් කරන ලෙසත් ඔවුහු ජාතික පොලිස් කොමිෂමට පැමිණිලි කර තිබේ.