යුද්ධය අවසන් වී වසර 10ක් පිරීම නිමිත්තෙන් අවසන් යුද්ධයේදී මිය ගිය සාමාන්‍ය වැසියන් සිහිකොට ඔවුන්ගේ ආත්මයන් වෙතට සෙත් ශාන්ති පැමිණවීම හෙට (18) මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුධ සැමරුම් ස්මාරකය ඉදිරිපිටදී සිදු කෙරෙන බවට මුල්ලිවයික්කාල් වැසියෝ කියා සිටිති.
2009 මැයි මස 18 වනදා කොටි නායක ප්රභාකරන් ආරක්ෂක හමුදා ප්රහාරයන් හමුවේ මිය යාමෙන් පසුව යුද්ධය අවසන් වුවද එදින සිට සෑම වර්ෂයකම මැයි 18 වනදාට අවසන් යුද්ධයෙන් මියගිය වැසියන් සිහි කිරීම මුල්ලිවයික්කාල් මුහුදු තීරයේදී සිදු කෙරුණි.
මෙවර මුල්ලිවයික්කාල් යුධ සැමරුම සංවිධානය කිරීම සඳහා මුල්ලිවයික්කාල්හි වැසියන් විසින් කමිටුවක් පත් කොට ඇති අතර එම කමිටුවට ආගමික නායකයින් මෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේද සහාය ලැබී ඇත.
කෙසේ වෙතත් රටේ පවතින අයහපත් වාතාවරණයත් සමඟ මෙවර මුල්ලිවයික්කාල් සැමරුම උත්සවාකාරයෙන් සිදු නොකරන අතරම මුල්ලිවයික්කාල් වැසියන් ඇතුළු යුද්ධයෙන් මියගිය වැසියන්ගේ සහභාගීත්වයෙන් සාමාන්‍ය පරිදි සිදු කිරීමට පියවර ගෙන ඇති බවටද යුධ සැමරුමේ සංවිධායක කමිටු සාමාජිකයින් පවසති.
මේ අතර යුද්ධයෙන් මියගිය සාමාන්‍ය වැසියන් සමරා ඔවුන් වෙනුවෙන් මල් පහන් දැල්වීමක් වවුනියාවේ දින 817ක් පුරාවට සත්‍යග්‍රහයක නිරතව සිටින යුද්ධයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව විසින් අද (17) දින මුලතිව් වට්ටුවාක්කල් පාලම අසලදී සිදු කරනු ලැබීය.