වැලිපැන්න පොලිස් වසමේ මඩවල ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා හෙරොයින් කිලෝ 1 ක් ,රිවෝල්වර් ගිනි අවියක් සමග සැකකරුවන් 3 දෙනෙකු කළුතර කොට්ඨාශ නොවිසුදුනු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (30දා) අත්අඩංගුවට ගෙන ඇත.
වැලිපැන්න පොලිස් වසමේ මඩවල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගේ නිවසක් කුලියට ගෙන මත්කුඩු ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී මෙම හෙරොයින් තොගය සහ ගිනි අවිය අත් අඩංගුවට ගෙන ඇත.
මෙහිද අත් අඩංගුවට ගත සැකකරුවන් පානදුර ,බණ්ඩාරගම සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර වැලිපැන්න හොරවල ප්‍රදේශයේ පදිංචි මෙහි ප්‍රධාන සැකකරුගෙ බිරිඳ මේ වන විටත් මත්කුඩු සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවද හෙළිවී ඇත.
අත් අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වැලිපැන්න පොලිසියට බාරදී ඇති අතර කළුතර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න,කළුතර කොට්ඨාශ බාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස,මතුගම කොට්ඨාශ 1 භාර සහකාර පොලිස් අධිකාරි ජයසිරි මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් කළුතර කොට්ඨාශ නොවිසුදුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතා ඇතුළු කණ්ඩායම වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මතුගම බන්දු තඹවිට