වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවීම නිසා එම පොලිස් ස්ථානයේ රාජකාරි කල පොලිස් නිලධාරීන් 56 දෙනෙකුගේ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකල බවත් එම සියලු නිලධාරීන් තම නිවෙස් වලම නිරෝධායනයට යොමුකළ බවත් මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී.ලයනල් මහතා පැවසීය.
දින කීපයකට පෙර වැලිපැන්න පොලිස් ස්ථානයේ නව ස්ථානාධිපතිවරයා ලෙස වැඩ භාර ගත් පොලිස් පරීක්ෂක ප්‍රදීප් ආනන්ද සිල්වා මහතා වැලිපැන්න පොලිසියේ රාජකාරි ආරම්භ කර දින දෙකකට පසුව සිදුකල පී.සී.ආර් පරීක්ෂණයකින් ඒ මහතාට කෝවිඩ් 19 රෝගය වැළදී ඇති බවට වාර්තාවීමත් සමග පසුගිය 28 වනදා එම පොලිස් ස්ථානයට පැමිණි මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගයාත්‍රි විතාන මහත්මිය සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී.ලයනල් මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් කණ්ඩායම විසින් වැලිපැන්න පොලිසියේ රාජකාරි කරන සියලු නිලධාරීන් සහ සිවිල් සේවකයන් නිරෝධායනය කිරීමට යොමුකල අතර ඒ අනුව නිවෙස් වල සිට රාජකාරියට පැමිණෙන පොලිස් නිලධාරීන් තම නිවෙස් වලම නිරෝධායනයට යොමු කලහ. පොලිස් ස්ථානයේ සහ බැරැක්ක වල නවාතැන් ගෙන සිටින නිලධාරීන් එම ස්ථාන වලම නිරෝධායනයට යොමුකරනු ලැබීය.
එසේ නිරෝධායනයට යොමුකළ සියලු නිලධාරීන්ගේ පී.සී.ආර්.පරීක්ෂණ 29 වනදා සිදුකල අතර එහිදී මතුගම සහකාර පොලිස් අධිකාරී ජී.ජී.එන්.ජයසිරි මහතා ඇතුළු පොලිස් නිලධාරීන් 56දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර එම පිරිස දෙසැම්බර් 07 වන දින දක්වා තම නිවෙස් වලම නිරෝධායනයට යොමුකළ බවද ලයනල් මහතා පැවසීය.
මේ අතර තමන් මෙවැනි අවදානම් තත්වයක සිටියදී ආරක්ෂිත ස්ථානයක රඳවා නොතබා නිවෙස් වලට යැවීමෙන් තමන්ගේ දරු පවුල් වලටද අවධානම් තත්වයට මුහුණ දීමට සිදුවී ඇති බවත් පොලිස් නිලධාරීන් බොහොමයක් තම කනස්සල්ල පළකරයි.
මතුගම බන්දු තඹවිට