නාවික හමුදාව විසින් 2020 ජුලි මස 09 වන දින තලෙයිමන්නාරම, පැරණි ජැටියට ඔබ්බෙන් වූ මුහුදේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්ෂක මුර සංචාරයන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව නාවික හමුදා උතුරු මැද නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 ජුලි මස 09 වන දින තලෙයිමන්නාරම, පැරණි ජැටියට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කල මුර සංචාරයකදී සැක සහිත යාත්‍රා කිහිපයක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී නීති විරෝධී ලෙස වලංගු ධීවර බලපත්‍ර රහිතව මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රාවක්, කිමිදුම් උපකරණ කිහිපයක් සහ එම ධීවර යාත්‍රාව තුල තිබූ තවත් ධීවර ආම්පන්න කිහිපයක්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 21 ත් 43 ත් අතර වයසේ පසුවන මන්නාරම, තාවුල්පාඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, කිමිදුම් උපකරණ සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.
