ඉදිරි වසර 30ක කාලයක් තුළ මෙරට සංවර්ධනය සිදුවන ආකාරය පිළිබඳ සැලසුම් සකසා අවසන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, ඊයේ (10දා) නව වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
"19 වැනි ශතවර්ෂයේ බ්‍රිතාන්‍යයන් ඇති කළ මාර්ග සංවර්ධනයට පසු අපි තමයි මාර්ග සංවර්ධනය කළේ. දකුණු අධිවේගී මාර්ගය යෝජනා කළේ 1992දී. කොළඹ නුවර අධිවේගී මාර්ගය හා කොළඹ වටරවුම් මාර්ගය 2003දී යෝජනා කළේ.
මේ ව්‍යාපෘතිවල කොටස් වශයෙන් ඉදිකිරීම් කරමින් තිබුණේ. තවත් ව්‍යාපෘති කිහිපයක් යෝජනා කරලා තියෙනවා. මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ අපි තීරණය කළා ශීඝ්‍රයෙන් මේ මාර්ග පද්ධතිය හදන්න. ඊළඟ අවුරුදු 30කට අපි සංවර්ධන සැලසුම් හදලා අවසන්.
බස්නාහිර පළාතේ කොළඹ නගරය ඉන්දියන් සාගරයේ ලස්සනම නගරය බවට පත්කිරීමේ වැඩකටයුතු අපි ආරම්භ කරලා තියෙන්නේ. අපි දැන් අපනයන ආර්ථිකයක් හදන්න සැලසුම් කරලා තියෙනවා. ආර්ථිකය ශක්තිමත් කරන ව්‍යාපෘති තමයි අපි මේ කරන්නේ. බ්‍රිතාන්‍යයෙන් ඇති කරපු ආර්ථිකය එක්ක අපට තවත් ජීවත් වෙන්න බැහැ" යනුවෙන් පවසා සිටියේය.
එහිදී චයිනා සිවිල් ඉංජිනියරින් ආයතනයේ සභාපතිවරයා සමග මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කිරීමද සිදුකෙරිණි.
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක වියදමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
එසේම මෙම අධිවේගී මාර්ගය ඉඟුරුකඩේ මංසන්ධිය අසලින් නව කැලණි පාලමට සම්බන්ධ වන අතර, එතැන් සිට කුලුනු මතින් නව වරාය නගරය දක්වා පැමිණෙන අතර, එම ස්ථානයේ සිට යෝජිත උමං මාර්ගය ඔස්සේ ගාලුමුවදොර වෙරළබඩ මාර්ගය දක්වා සම්බන්ධ වේ.
මෙම ව්‍යාපෘතිය මගින් ගාලුමුවදොර සිට පෑලියගොඩ දක්වා මිනිත්තු 04කින් පමණ ගමන් කළ හැකි වන අතර, ඉන් අනතුරුව අධිවේගී මාර්ග පද්ධතිය හා සම්බන්ධ වීමෙන් මාර්ග තදබදයකින් තොරව පිට පළාත් සඳහා ගමන් කළ හැකිය.
නවෝද්‍යා පවනි/ඡායාරූප ඉසුරු පෙරේරා