කොරෝනා වසංගතය හමුවේ මෙරට ව්‍යවසායකයන් මුහුණ දී ඇති ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් අරඹා ඇත.
එහි එක් පියවරක් ලෙස ව්‍යවසායකයන්ගේ ගැටලුවලට අදාළ සෞඛ්‍ය හා වෙනත් රාජ්‍ය ආයතනවල බලධාරීන් සම්බන්ධ කරගනිමින් ක්ෂණික විසඳුම් ලබාදීමේ අන්තර්ජාල සජීවී සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතය.
එහි පළමුවැන්න අද (19) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර සෞඛ්‍ය හා අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් නියෝජනය කරමින් අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පබා පලිහවඩන, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න, අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්යක්ෂ ඩී.එම්.පී දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
මෙම අන්තර්ජාල සජීවී සංවාදය facebook.com/WimalWeerawansa.sl සහ facebook.com/neda.srilanka යන ෆේස්බුක් පිටු ඔස්සේ විකාශය කෙරුණු අතර සංවාදය මෙහෙයවීම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා විසින් සිදු කරනු ලැබී ය.