වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය තුල සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව තවත් 10 දෙනෙකු ආසාදිතයින් බව තහවුරුවී ඇති බවත් මේ අනුව එහි ආසාදිතයින් සංඛ්‍යාව 19 දෙනෙකු වන බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මිගාර ඈපා මහතා පැවසීය.
තිහාරිය ප්‍රදේශයෙන් ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබීම මත වෙළඳුන් සහ නාට්ටාමිවරුන් 140 දෙනෙකු හට සිදු කළ පරීක්ෂාවේදී මීට පෙර 9 දෙනෙකු සහ ඉකුත් 4 වෙනි දින එහි 224 දෙනෙකු හට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව 10 දෙනෙකු ආසාදිතයින් බවටද තහවුරු වී ඇතැයි අධ්යක්ෂවරයා සදහන් කළේය.
මෙම අයහපත් තත්ත්වය මත ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ උපදෙස් පරිදි ඉකුත් 4 වෙනි දින සිට වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමිමට පියවර ගෙන ඇත.
මේ අතර ඊයේ (6) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 50 දෙනෙකු හමුව ඇති බවත් මේ අනුව දිස්ත්‍රික්කයෙහි මුලු ආසාදිතයින් සංඛ්‍යාව 6089 ක් බවත් සදහන් කළ සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා , පරීක්ෂණ වාර්තා අනුව ගතවූ පැය 24 තුල දිස්ත්‍රික්කයේ 16 ක් වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තාවී ඇතැයිද කීය.
තිලකරත්න දිසානායක