ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ කූඨ ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් හරහා ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින අලුයම අත්අඩංගුවට ගෙන තිබේ .
මොහු 25 හැවිරිදි යාපනය ,කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි , කිසිදු රැකියාවක් නොකරන ද්‍රවිඩ ජාතික තරුණයෙකි .
මෙම තරුණයා අද දින අලුයම 3.15 ට කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව යන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 669 දරන ගුවන් යානය සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ කවුළුව වෙත පැමිණි මෙම තරුණයා ඉදිරිපත් කළ ඉතාලියට ඇතුළු වීම සදහා නිකුත් කර තිබූ නේවාසික වීසා බලපත්‍රය පිළිබඳව සැක සිතූ , කටාර් ගුවන් සේවයේ නිලධාරීන් , එම ලියකියවිලි වැඩිදුරටත් විමර්ශනය කිරීම සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබුණි .
එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම තරුණයා විසින් ඉදිරිපත් කළ නේවාසික වීසා බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි තාක්ෂණික පරීක්ෂාවන්ට ලක් කරන අතරතුර , ඔහුගෙන් මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීම් ද සිදු කර තිබේ .
ඒ අනුව සිදු කළ විමර්ශනයෙන් අනාවරණය වූයේ මෙම ඉතාලි ජාතික නේවාසික වීසා බලපත්‍රය ව්‍යාජ ලෙස සකස් කර ඇති බවත් , එම තරුණයා සතුව තිබූ පැරණි ගුවන් ගමන් බලපත්රයෙහි මීට පෙර ඉතාලියට ගමන් කළ බවට වූ ශ්‍රී ලාංකික සහ ඉතාලි ආගමන විගමන මුද්‍රා ද ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවත්ය .
මෙම තරුණයා මුල් වතාවට ඉතාලි යන අයෙකු බවට මෙම පරීක්ෂණ වලින් තහවුරු කර ගැනුණු අතර , ව්‍යාජ ආගමන විගමන මුද්‍රා සහිත පැරණි ගුවන් ගමන් බලපත්‍රය ගුවන් සේවා නිලධාරීන් හට භාර දී ඇත්තේ , ඔහු මීට පෙර ඉතාලියට ගිය පුද්ගලයෙකු බවට ඒත්තු ගැන්වීමට බව ද අනාවරණය විය .
ඉන්පසුව මෙම තරුණයා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන වැඩිදුරට විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .