ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ කැනඩා නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යය ඔස්සේ කැනඩාව වෙත පැන යාම සදහා තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු මහනුවර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකි .
ඔහු අද දින අලුයම 3.25 ට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව යාමට නියමිත කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 669 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මොහු ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සදහා කටාර් ගුවන් සේවා කවුළුව වෙත පැමිණි අවස්ථාවේ , ඔහු ඉදිරිපත් කළ කැනඩා නේවාසික වීසා බලපත්‍රය පිළිබඳව මතු වු ගැටළුවක් මත , එම ගුවන් සේවා නිලධාරීන් මෙම ලියකියවිලි සමග මෙම මුස්ලිම් ජාතිකයා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ.
එහිදී එම නිලධාරීන් විසින් සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන් වලදී , මෙම නේවාසික වීසා බලපත්‍රය ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කර ඇති බව අනාවරණය විය.
ඒ පිළිබඳව මෙම මුස්ලිම් ජාතිකයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී , තමන් රුපියල් ලක්ෂ දෙකක් තැරැව්කරුවෙකු වෙත ලබා දී මෙම කැනඩා නේවාසික වීසා බලපත්‍රය සකස් කර ගත් බව හෙළිදරව් කළේය .
ඒ අනුව මෙම මුස්ලිම් ජාතිකයා , ඔහු සතුව පැවති ලියකියවිලි සමග ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .