ව්‍යාජ තොරතුරු භාවිතා කරමින් , කූඨ ලෙස සකස් කළ නාවික හඳුනාගැනීමේ සහතිකයක් ඉදිරිපත් කරමින් , තමා " වෙළෙඳ නාවිකයෙකු " ලෙස හඟවමින් , කැනඩාව වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයකු අද දින උදෑසන කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු යාපනය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි .
මොහු අද දින උදෑසන 10.30 ට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව යන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 665 දරණ ගුවන් යානයට , කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණේය.
මෙම තරුණයා ඉදිරිපත් කළ ලියකියවිලි පිළිබඳ සැක සිතූ කටාර් ගුවන් සේවා නිලධාරීන් , මොහු සමග එම ලියකියවිලි ද , ගුවන් තොටුපළ විගමන කටයුතු සිදු කෙරෙන අංශයේ සේවයේ නියුතු දේශසීමා ආවේක්ෂණ ඒකකයට අනුයුක්තව රාජකාරි සිදුකරන , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බාර දී තිබේ .
එහිදී තමා "වෙළඳ නෞකාවක සේවය කිරීම සදහා යමින් සිටින අයෙකු" බව මෙම තරුණයා විසින් ප්‍රකාශ කිරීමෙන් පසු , ඔහු සතු සියලුම සියළුම ලියකියවිලි නීත්‍යානුකූල ඒවාදැයි , මෙම නිලධාරින් විසින් තාක්ෂණික පරීක්ෂාවන්ට ලක් කර තිබේ .
එහිදී මෙම තරුණයා ඉදිරිපත් කළ මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වන බෙලීස් රාජ්‍යය විසින් නිකුත් කරනු ලැබූ වෙළෙඳ නාවිකයෙකු බවට සනාථ කෙරෙන සහතිකය කූඨ ලෙස සකස් කළ එකක් බව මූලික පරීක්ෂණ වලදීම තහවුරු වී තිබේ .
මොහු කටුනායක ගුවන්තොටුපල සිට කකටාර් රාජ්‍යයේ දෝහා වෙත ගොස් , එතැන් සිට මධ්‍යම ඇමෙරිකාවේ පැනමා වෙත ගමන් කිරීමට සැලසුම් කර තිබූ අතර , එතැනින් ඔහුගේ අවසාන ගමනාන්තය වන කැනඩාව වෙත තැරැව්කරුවකු ගේ සහය ඇතිව පැන යාමට සැලසුම් කර තිබූ බව මෙම නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනවලදී , ඔවුන් විසින් අනාවරණය කරගෙන තිබුණි .
ඉන්පසුව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම තරුණයා අත් අඩංගුවට ගැනීමෙන් පසුව , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ .