ව්‍යාජ තොරතුරු ඇතුළත් කර නේවාසික වීසා බලපත්‍රයක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් කූඨ ලෙස සකස් කර , ඒවා උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යයේ දෝහා හරහා ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින අලුයම අත්අඩංගුවට ගෙන තිබේ .
ඔහු මන්නාරම , වෙල්ලාලකුළම් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණයෙකි .
ඔහු අද දින අලුයම 3.15 ට කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව යන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 669 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එහිදී ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ කවුළුව වෙත පැමිණි මොහු ඉදිරිපත් කළ , ඉතාලියට ඇතුළු වීම සදහා නිකුත් කර තිබූ නේවාසික වීසා කාඩ්පත පිළිබඳව සැක සිතූ කටාර් ගුවන් සේවයේ නිලධාරීන් , මෙම ලියකියවිලි වැඩිදුරටත් විමර්ශනය කිරීම සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ නිලධාරීන් වෙත භාර දී තිබේ .
එහිදී එම නිලධාරීන් , මෙම තරුණයා ඉදිරිපත් කළ නේවාසික වීසා කාඩ්පත සහ අනෙකුත් ලියකියවිලි තාක්ෂණික පරීක්ෂාවන්ට ලක් කරන අතරතුර , ඔහුගෙන් මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීම් ද සිදු කර තිබේ .
එහිදී ඔහු හෙළි කර ඇත්තේ , ඉතාලියේ නේවාසික වීසා කාඩ්පතක් හිමි අයෙකුගේ තොරතුරු යොදා , ඊට තමාගේ ජායාරූපය පමණක් මෙම ලියකියවිලි වලට ඇතුළත් කර , මෙම වීසා කාඩ්පත මෙන්ම ගුවන් ගමන් බලපත්‍රය ද සකස් කර ඇති බවයි .
ඒ අතඅතරතුර මෙම ලියකියවිලි සියල්ල , ව්‍යාජ ලෙස සකස් කළ කූඨ ඒවා බව තාක්ෂණික පරීක්ෂණ වලින් ද තහවුරු වී තිබුණි .
ඉන්පසුව මෙම තරුණයා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ,වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .