MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වන්දි ලබා ගැනීම පිළිබදව තවත් සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
මෙම සාකච්ඡාව සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් එක්ව තිබේ. අධිකරණ අමාත්‍යාංශය අද (12දා) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ නව සම්ප්රදායක් ඇතිකරමින් මෙම සාකච්ඡාව සඳහා විපක්ෂනායකවරයා ඇතුව පිරිසක් සහභාගි වූ බවයි.
මේ වන විට ලැබී ඇති වන්දි මුදල් බෙදාදිම පිළිබඳව මෙන්ම ඉතිරි වන්දි මුදල් ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව අලි සබ්රි මහතා පැවැසීය.
වන්දි මුදල් ලබාදීමේ ක්‍රියාවලියේදී ධීවර ජනතාවට ප්‍රමුඛත්වය ලබාදුන් බවත් විශේෂයෙන් සාගරය තුළ ගිලි තිබු නෞකාවේ තිබු කන්ටේනර් ඇති ස්ථාන හදුනා ගැනීම පිළිබදව කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා ඉන්දීය නාවික හමුදාවේ සහාය ද ලැබී ඇති බවත්, එහෙත් පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එය ප්‍රමාද විය හැකි බවත්, අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
විශේෂයෙන් වන්දි ලබා ගැනීමේ ක්‍රියාවයේ නීතිමය කටයුතු සිදු කිරීම ජාත්‍යන්තර රක්ෂණ සමාගම් සමඟ සිදු කරන බැවින් සිදු වු හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලියේදී අපේ රටට හිමිවිය යුතු හිමිකම්පෑම සඳහා සඳහා ජාත්‍යන්තර නීතීඥ සමාගමක සහාය ලබා ගැනීමට තීරණය කර ඇති බවත්, නීතිපතිතුමාගේ උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය ඇතිව එම නීතිඥ සමාගම තෝරා ගැනීම සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සිදු වු හානිය වෙනුවෙන් රුපියල් මිලියන 720 ක වන්දි මුදලක් මහ බැංකුව වෙත මේ වන විට ලැබී ඇති අතර, ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ඉන් රුපියල් මිලියන 420 ක් පමණ වු මුදලක් ධීවර ජනතාව වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට වෙන් කර තිබෙන අතර තවදුරටත් මෙම සිදුවීමෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ද තමන්ට සිදුව ඇති හානිය පිළිබඳව අයදුම් කළ හැකි බවත්, හානිය තහවුරු කර ගැනීමෙන් පසුව ඔවුන්ට ද වන්දි මුදල් ලබාදීමට නියමිත බවත්, මෙහිදී සදහන් විය.