ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත තවදුරටත් ප්‍රමාද කෙරෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි 'අද'ට වාර්තා වේ.
මහජන අදහස් විමසීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම සඳහා අදාළ කෙටුම්පත මේ වනවිට තිරසර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය වෙත යොමුව සැලකිවයුතු කාලයක් ගතව ඇති බවද වාර්තාවේ.
අදාළ ප්‍රතිපත්තිය පිළිබඳව වනජීවී ආරංචි මාර්ග සඳහන් කරන්නේ මහජන මත විමසීමකින් තොරවමඑය ඉදිරියේදී එළිදැක්වීමට කටයුතු සිදු වෙමින් පවතින බවයි.
වර්ෂ 2006දී ඉදිරිපත්වූ මෙම ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත, මහජන අදහස් විමසීමකින් අනතුරුව එළිදැක්වීමට 2017 වර්ෂයේ දෙසැම්බර් මසදී තීරණය වී තිබේ.
මේ සඳහා වූ මහජන අදහස් විමසීමේ කටයුතු දිනෙන් දින ප්‍රමාද වීම සම්බන්ධයෙන් පරිසරවේදීන් මෙන්ම ක්ෂේත්රයට අදාළ විවිධ පාර්ශ්ව විසින්ද චෝදනා එල්ල කර තිබිණි.
කෙසේවුවද මේ සම්බන්ධයෙන් තිරසර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී. කිත්සිරි මහතාගෙන් 'අද' විමසීමක් කළ අතර, එහිදී ඒ මහතා සඳහන් කර සිටියේ සංශෝධිත වන අලි කළමනාකරණ ජාතික ප්‍රතිපත්තියේ අඩංගු කරුණු පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා පුවත්පත් දැන්වීමක් ඉදිරියේදී පළ කිරීමට නියමිතව ඇති බවයි.
ඒ අනුව මහජනතාවගේ අදහස් විමසීමකින් අනතුරුව ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම සිදු කරන බව කී ලේකම්වරයා මෙම වසර අවසානය වනවිට ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ හැකියාව ඇති බවද පැවසීය.