විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්, අධ්‍යාපනය ලබන සිසුන් හා සංචාර සඳහා මෙන්ම ව්‍යාපාර කටයුතු සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් සියලු දෙනා නිරෝධායනයට යටත්ව මෙරටට ගෙන්වා ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
විදෙස් ගත ශ්‍රමිකයන් හා සිසුන්ට සහන සැලසීම වෙනුවෙන් රටවල් 16ක තානාපති කාර්යාල සඳහා දැනට වෙන් කර ඇති මුදල් ප්‍රමාණවත් නොවන බවත්, ඔවුන් මෙරටට ගෙන්වා ගන්නා තෙක් පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය පමණ මුදල් වෙන් කරන ලෙසත් ඒ මහතා රජයෙන් ඉල්ලා සිටියේය.
විදෙස් ගත ශ්‍රමිකයන්ගේ මෙරට රක්ෂණ මුදල් ලබා ගැනීමේ අවස්ථාව සලසා දී ඔවුන්ගේ පවුල් සඳහා ද, ඔවුන් සඳහා ද සහන සලසන මෙන් රත්නායක මහතා රජයෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කළේය.
කුවෙට්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි මැදපෙරදිග රටවල් කිහිපයකින්ම මේ වන විට නීති විරෝධීව රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් එම රාජ්‍යවල වියදමින්ම මෙරටට ගෙන්වා දෙන පැවසුව ද මෙරට රජය තවමත් ඒ පිළිබඳ අවධානය යොමු කර නැති බවත්, ඉන්දීය රජයෙන් එහි රැදී සිටින ශ්‍රී ලාංකීය සිසුන් පිරිස ගුවන් යානයක් මඟින් ගුවන් තොටුපළට ගෙන්වා දෙන බව පවසා තිබුණ ද රජය ඔවුන් භාර ගැනීමේ සූදානමක් නොමැති බව ද රත්නායක මහතා සඳහන් කළේය.
නවාතැන් කුලී ගෙවාගත නොහැකි වීම, වැටුප් රහිත නිවාඩු ලැබී ඇති නිසා ආහාර ලබාගැනීමට පවා මුදල් නොමැති වීම, ආහාර සපයා ගැනීමේ අපහසුතා වැනි දුෂ්කරතාවලට මෙම විදෙස් ගත ශ්‍රී ලාංකීය පිරිස් පත්ව සිටින බව ද ඒ මහතා කියා සිටියේය.
කොරෝනා මර්දනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග නිසා බිඳ වැටී ඇති ජන ජීවිතය නගා සිටුවන්නේ කෙසේද යන්න පිළිබඳව ද රජය මේ මොහොතේ පටන්ම අවධානය යොමු කළ යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.